සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අපේ ප්‍රතිවාදීන්

7599

13 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වීම වෙනුවෙන් පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගී වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය දා මව්බිමෙන් නික්ම ගියා.

සිම්බාබ්වේ දී පැවැත්වෙන මෙම තරගාවලියේ දී ඔවුන්ට ලෝක කුසලාන තරගාවලියට එක් වීමට නම් අයර්ලන්තය, ඕමානය, ස්කොට්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන කණ්ඩායම් සමඟ තරග වැදෙමින් එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පිවිසීමට සිදුවෙනවා.

තරගාවලියේ කාලසටහන

  • ජුනි 19 – එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ Bulawayo හිදී.
  • ජුනි 23 – ඕමානය සමඟ Bulawayo හිදී.
  • ජුනි 25 – අයර්ලන්තය සමඟ Bulawayo හිදී.
  • ජුනි 27 – ස්කොට්ලන්තය සමඟ Bulawayo හිදී.

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව B කාණ්ඩයෙන් තරග වදින අතර A කාණ්ඩය නියෝජනය කරමින් නෙදර්ලන්තය, නේපාලය, ඇමරිකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම් සහභාගී වෙනවා.

ලෝක කුසලාන ඉතිහාසයේ 1996 වසරේ ශූරතාවත්, 2007 වසරේ සහ  2011 වසරේ අනුශූරතාවත් දිනා ගත් ශ්‍රී ලංකාව මෙන් ම 1975 වසරේ සහ 1979 වසරේ ශූරතාවත්, 1983 වසරේ අනුශූරතාවත් දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව්වන් ද මෙවර සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා දෙපැත්තේ සිට එක් වෙනවා.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී හමුවෙන කණ්ඩායම් හා ශ්‍රී ලංකාවේ දක්ෂතා

Team Span Mat Won Lost Tied N/R %Win
එක්සත් අරාබි එමීර් රාජ්‍යය 2004-2008 2 2 0 0 0 100.00
ඕමානය 0 0 0 0 0 0
අයර්ලන්තය 2007-2016 4 4 0 0 0 100.00
ස්කොට්ලන්තය 2011-2019 3 3 0 0 0 100.00

 

එක්සත් එමීර් රාජ්‍ය ක්‍රිකට් කණ්ඩායම

එක්සත් එමීර් රාජ්‍ය ක්‍රිකට් කණ්ඩායම පළමු වරට ලෝක ක්‍රිකට් කරළියට පිවිසෙන්නේ 1993/94 වසරේ එරට දී Austral-Asia කුසලාන ක්‍රිකට් තරගාවලියේ දීයි. එතැන් සිට මේ දක්වා තවත් තරගාවලි 22කට මුහුණ දී ඇති ඔවුන් මේ දක්වා දිනා ඇත්තේ තරගාවලි 3ක් පමණයි.

2014/15 වසරේ දී ඇෆ්ගනිස්තානය සමඟ තරගාවලිය 3-1ක් ලෙසත්, 2016/17 වසරේ දී හොංකොං, ස්කොට්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩයම සහභාගී වූ තුන්කොන් තරගාවලියත් සහ 2017 වසරේ දී පැපුවා නිව් ගිනියාව සමඟ පැවති එක්දින තරගාවලිය 2-1ක් ලෙසත් ඔවුන් ජයග්‍රහණය කරනවා.

මේ දක්වා ඔවුන් එක්දින ජාත්‍යන්තර තරග 102කට මුහුණ දී ඇති අතර ඉන් තරග 36ක් ජයග්‍රහණය කරද්දී, තරග 65ක් පරාජය වෙනවා. අනෙක් තරගය ලකුණු සම වීමෙන් නිමා වෙනවා. ඔවුන්ගේ ජයග්‍රහණයේ ප්‍රතිශතය 48.88ක්.

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර මෙතෙක් පවත්වා ඇත්තේ තරග 2ක් පමණක් වන අතර එම තරග 2න් ම ජයග්‍රහණය වාර්තා කරන්නේ ශ්‍රී ලංකාවයි.

ඕමානය

ඕමානය මෙතෙක් සහභාගී වී ඇත්තේ එක්දින ජාත්‍යන්තර තරගාවලි 3කට පමණයි. 2019 වසරේ දී ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලීග් දෙවැනි කොටසේ තරගාවලිය නියෝජනය කරමිනුයි ඔවුන් පළමු වරට එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගන්නේ.

ඉන්පසුව 2019 සිට පැවැත්වෙන ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ලීගයේ තරගාවලියටත් සහ 2023 වසරේ දී ICC පළමු පෙළ ක්‍රිකට් තරගාවලියටත් පමණයි ඔවුන් සහභාගී වී ඇත්තේ.

එම තරගවල දී  එක්දින ජාත්‍යන්තර තරග 39කට සහභාගී වී ඇති ඔවුන් ඉන් තරග 21ක් ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා. තරග 16ක් පරාජය වෙද්දී ලකුණු සම වීමෙන් තරගයක් සහ නොවිසඳුණු තරගයක් ද ලෙසින් තවත් තරග 2ක් අවසන් කරනවා. ඔවුන්ගේ තරග ජයග්‍රහණයේ ප්‍රතිශතය 53.84ක්.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ ඕමානය අතර මෙතෙක් එකඳු එක්දින ජාත්‍යන්තර තරගයක් හෝ පවත්වා නැහැ.

අයර්ලන්තය

2006 වසරේ දී එක්දින වරම් දිනා ගන්නා අයර්ලන්තය මෙම කාණ්ඩයේ සිටින පළපුරුදු ප්‍රබල රටක් ලෙසින් හැඳින්විය හැකි. ඔවුන් මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 188කට සහභාගී වී සිටිනවා. ඒ අතරින් තරග 75ක් ජයග්‍රහණය කිරීමට ද සමත් වන ඔවුන් එම ජයග්‍රහණයේ ප්‍රතිශතය 39.89ක් ලෙසින් පවත්වා ගැනීමට සමත් වෙනවා.

කෙසේ වෙතත් සහභාගී වූ තරග අතරින් තරග 97ක් පරාජය වීමටත්, ලකුණු සම වීමෙන් නිමා වූ තරග 3ක් ද සහ නොවිසඳුණ තරග 13ක් ද ඊට ඇතුළත් වෙනවා.

අයර්ලන්ත ඉතිහාසයේ දී ඔවුන්, ශ්‍රී ලංකාව සමඟ එක්දින ජාත්‍යන්තර තරග 4කට සහභාගී වී ඇති අතර එම තරග 4 ම පරාජයෙන් අවසන් කිරීමට සිදුව තිබෙනවා.

ස්කොට්ලන්තය

1999 වසරේ සිට ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගන්නා ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ මේ වන විට සහභාගී වී ඇති එක්දින ජාත්‍යන්තර තරග ප්‍රමාණය 146ක්. ඉන් තරග 63ක් ජයග්‍රහණය කරමිනුත්, තවත් තරග 75ක් පරාජය වෙමින් අවසන් කරන ඔවුන් ලකුණු සම වීමෙන් තරගයක් සහ නොවිසඳුණ තරගය 7ක් ද ඊට ඇතුළත් කරනවා. ඔවුන්ගේ තරග ලැයිස්තුවේ ජයග්‍රාහී ප්‍රතිශතය ලෙසින් දැක්වෙන්නේ 43.15ක්.

ස්කොට්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර මේ දක්වා තරග 3ක් පවත්වා ඇති අතර එම තරග 3න් ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වෙනවා.

මෙම දත්ත හා සැලකිලිමත් වීමේ දී ශ්‍රී ලංකාවට පැනීමට තිබෙන්නේ ඉතා පහසු කඩඉමක් බැව් බැලූ බැල්මට ම පෙනෙන්නට තිබෙනවා. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත බව හමුවේ මේ දත්ත එහා මෙහා වීමේ අවධානමක් ද නැත්තේ නොවේ. එය ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වභාවය යැයි පවසා ඉවත බලා ගත හැකි අවස්ථාවක් ද නොවේ.

එබැවින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදු වන්නේ ලද පළමු අවස්ථාවේ සිට ම උපරිම ප්‍රයෝජනය ගනිමින් තරගාවලියට එක් වීමයි. එම කඩඉම සාර්ථකව පසු කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වේවායි ThePapare.com හී පැතුමයි!

ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සියලු තතු විත්ති දැන ගැනීමට රැඳී සිටින්න, ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<