LPL පිටියට වෙන්දේසි වූ අපේ හොඳම 10

LPL 2023

3649

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දී වැඩිම මුදලකට අලෙවි වූ ශ්‍රී ලාංකීය ක්‍රීඩකයා බවට පත්වීමට 22 හැවිරිදි වියේ පසුවෙන වමතින් මද වේගපන්දු යවන ඩිල්ෂාන් මධුශංක සමත් වුනා.

ඔහුත් සමඟින් මෙරට ක්‍රීඩකයන් 204 දෙනෙක් මෙම අලෙවිය සඳහා ඉදිරිපත් කර තිබුණා. ඔවුන් අතරින් Jaffna Kings ක්‍රීඩකයන් 12 දෙනෙක් ද, Colombo Strikers ක්‍රීඩකයන් 16 දෙනෙක් ද, Dambulla Aura ක්‍රීඩකයන් 16 දෙනෙක් ද, Galle Titans ක්‍රීඩකයන් 16 දෙනෙක් ද සහ B-Love Kandy ක්‍රීඩකයන් 14 දෙනෙක් ද බැගින් ක්‍රීඩකයන් 74 දෙනෙක් ක්‍රීඩක වෙන්දේසියේ දී විවිධ මිල ගණන් යටතේ කණ්ඩායම්වලට එක් කර ගත්තා.

මේ ඒ අතරින් වැඩිම මුදලකට අලෙවි වූ මෙරට ක්‍රීඩකයන් 10 දෙනා, මෙතෙක් නිමා වූ LPL තරගවල දී දැක්වූ දක්ෂතායි.

ඩිල්ෂාන් මධුශංක

  • කණ්ඩායම – Jaffna Kings
  • වෙන්දේසි වූ මුදල – ඇමරිකානු ඩොලර් 92,000

මංගල ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී Dambulla Viiking නියෝජනය කළ ඩිල්ෂාන් මධුශංක එම තරගාවලියේ දී එක් තරගයකට පමණක් සහභාගී වෙමින් පන්දුවාර 2.0ක් පමණක් යවමින් කඩුල්ලක් දවා ගැනීමට සමත් වෙනවා.

අනතුරුව නැවතත් ඩිල්ෂාන් LPL තරගාවලිය හා එක් වෙන්නේ නිමා වූ 2022 වසරේ දී Jaffna Kings සමඟින්. එම තරගාවලියේ දී ඔහු තරග 2ක දී පන්දුවාර 7.0ක් පමණක් යවමින් කඩුලු 3ක් දවා ගන්නවා.

චරිත් අසලංක

  • කණ්ඩායම – Jaffna Kings
  • වෙන්දේසි වූ මුදල – ඇමරිකානු ඩොලර් 80,000

2020 වසරේ දී Jaffna Stallions සමඟ එක්වෙමින් LPL පිටියට එක් වෙන චරිත් අසලංක නැවත මේ වසරේ සිට Jaffna Kings කණ්ඩායම හා එක් වෙන්නේ වඩාත් වටිනාකමින් වෙන්දේසි වූ ක්‍රීඩකයෙක් ලෙසයි.

ඔහු මේ දක්වා LPL තරග 24ක ඉනිම් 23ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 476ක් ලබා සිටිනවා.

2020 වසරේ දී Jaffna Stallions නියෝජනය කරන චරිත් තරග 5ක ඉනිම් 4කට එක් වෙමින් ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 70ක්.

අනතුරුව 2021 වසරේ දී Kandy Warriors නියෝජනය කරන චරිත්, තරග 8ක ඉනිම් 8ක දී ලකුණු 164ක් ලබා ගන්නවා. එම තරගාවලියේ දී පන්දුවාර 9.0ක් යවන චරිත් කඩුලු 2ක් දවා ගැනීමට ද සමත් වෙනවා.

නිමා වූ 2022 වසරේ දී Colombo Stars නියෝජනය කරන චරිත් තරග 11ක ඉනිම් 11ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 242ක් ලබා ගන්නවා. එය එම කණ්ඩායමේ තෙවැනියට පෑ ඉහළ ම දක්ෂතාවයි.

ධනංජය ද සිල්වා

  • කණ්ඩායම – Dambulla Aura
  • වෙන්දේසි වූ මුදල – ඇමරිකානු ඩොලර් 76,000

තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් Dambulla Aura කණ්ඩායමට අලෙවි වූ ධනංජය ද සිල්වා මේ දක්වා LPL තරග 21ක ඉනිම් 18ක දී ලකුණු 323ක් සහ පන්දුවාර 32.2ක් යවමින් කඩුලු 7ක් දවා ගෙන සිටිනවා.

2020 වසරේ දී Jaffna Stallions නියෝජනය කළ ධනංජය එම වසරේ දී තරග 7ක ඉනිම් 6ක දී ලකුණු 118ක් ලබා ගන්නේ අර්ධ ශතකයක් ද සමඟින්. ඉනිම් 4ක දී පන්දුවාර 12.2ක් යැවූ ධනංජය එහි දී ලබා ගත් කඩුලු සංඛ්‍යාව 3ක්.

2021 වසරේ දී Colombo Stars හා එක්වෙන ධනංජය එම වසරේ දී තරග 9ක ඉනිම් 8කට සහභාගී වෙමින් ලකුණු 147ක් ලබා ගන්නවා. එම තරගාවලියේ දී පන්දුවාර 13.0ක් යවමින් ලබා ගත් කඩුලු සංඛ්‍යාව 3ක්.

අනතුරුව නිමා වූ 2022 වසරේ දී Jaffna Kings නියෝජනය කරන ධනංජය තරග 5ක ඉනිම් 4ක දී ලකුණු 58ක් සහ ඉනිම 3ක දී පන්දුවාර 7.0ක් යවමින් කඩුල්ලක් දවා ගන්නවා.

බිනුර ප්‍රනාන්දු

  • කණ්ඩායම – Dambulla Aura
  • වෙන්දේසි වූ මුදල – ඇමරිකානු ඩොලර් 76,000

LPL තරගාවලියේ ආරම්භක සාමාජිකයෙක් වන බිනුර ප්‍රනාන්දු පසුගිය වසරේ දී තම දායකත්වය ලබා දෙන්නේ Jaffna Kings වෙතයි. එහි දී ඔහු තරග 5ක දී පන්දුවාර 19.0ක් යවමින් ලකුණු 135කට කඩුලු 12ක් දවා ගන්නවා. එය එම කණ්ඩායම වෙනුවෙන් දෙවැනියට පෑ ඉහළ ම දක්ෂතාව වූ අතර තරගාවලියේ 5 වැනියට ශ්‍රේණිගත වූ දක්ෂතාවයි.

ආරම්භක තරගාවලියේ දී බිනුරගේ දායකත්වය හිමි වෙන්නේ Jaffna Stallions වෙතයි. එම තරගාවලියේ දී  බිනුර පන්දුවාර 13.0ක් යැවූ අතර ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 2ක් පමණයි.

අනතුරුව 2021 වසරේ දී Kandy Warriors නියෝජනය කරන බිනුර එහි දී තරග 3ක දී පන්දුවාර 9.4ක් පමණක් යවමින් කඩුලු  4ක් දවා ගන්නවා.

දිනේෂ් චන්දිමාල්

  • කණ්ඩායම – B Love Kandy
  • වෙන්දේසි වූ මුදල – ඇමරිකානු ඩොලර් 72,000

නිමා වූ LPL තරගාවලි ත්‍රිත්වයේ දී Colombo Stars නියෝජනය කළ දිනේෂ් චන්දිමාල් තරග 29කට සහභාගී වෙමින් ඉනිම් 28ක දී ලකුණු 817ක් ලබා සිටිනවා. එය LPL තරග ඉතිහාසයේ මෙරට පිතිකරුවන්ගේ දක්ෂතා අතර තෙවැනි ස්ථානයට පත් දක්ෂතාවයි.

ඒ දක්ෂතාත් සමඟින් ඔහුගේ මෙවර නවාතැන බවට පත් වෙන්නේ B Love Kandy කණ්ඩායමයි.

2020 වසරේ මංගල LPL තරගාවලියේ දී චන්දිමාල් තරග 9ක ඉනිම් 8කට සහභාගී වෙමින් ලකුණු 246ක් ලබා ගනිමින් එම වසරේ තම කණ්ඩායමේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයට පත් වෙනවා.

එමෙන් ම ඔහු එම තරගාවලියේ අවසන් මහා තරගයේ දී පන්දු 46කට මුහුණ දෙමින් ලකුණු 80ක් ලබා ගත් අතර අවසන් තරගයේ වීරයා ලෙසින් අභිෂේක ලැබීමට ද ඔහු සමත් වෙනවා.

2021 වසරේ දී චන්දිමාල් තරග 9ක ඉනිම් 9ක ලකුණු 277ක් ලබා ගනිමින් එම වසරේ තම කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙනවා. එහි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 46.16ක් බවට පත් කරන ගන්නා අතර තරගාවලියේ වැඩිම ලකුණුලාභීන් අතර 5 වැනියා බවට පත් වෙනවා.

නිමා වූ 2022 වසරේ දී චන්දිමාල් තරග 11ක ඉනිම් 11කට ක්‍රීඩා කරමින් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 287ක් ලබා ගන්නවා. එය එම කණ්ඩායමේ වැඩිම ලකුණුලාභීන් අතර පළමු අසුනට වෙන් වූ දක්ෂතාවක් වූ අතර තරගාවලියේ දී තෙවැනියට පෑ ඉහළ ම දක්ෂතාවයි.‍

දුෂ්මන්ත චමීර

  • කණ්ඩායම – B Love Kandy
  • වෙන්දේසි වූ මුදල – ඇමරිකානු ඩොලර් 70,000

නිමා වූ 2022 වසරේ පැවැති LPL තරගාවලියේ දී ආබාධිත තත්ත්වය හේතුවෙන් තරගාවලියට එක් නොවූ දුෂ්මන්ත චමීර මෙවර තරගාවලිය හා එක් වෙන්නේ B Love Kandy සමඟයි.

නිමා වූ තරගාවලි ද්විත්වයක දී ඔහු තරග 17ක දී පන්දුවාර 57.5ක් යවමින් කඩුලු 21ක් ලබා සිටිනවා.

2020 වසරේ දී Colombo Kings නියෝජනය කළ දුෂ්මන්ත චමීර එහි තරග 8ක දී පන්දුවාර 27.5ක් යවමින් ලබා ගත් කඩුලු සංඛ්‍යාව 8ක් වන අතර 2021 වසරේ දී ඔහුගේ දායකත්වය හිමි වෙන්නේ Colombo Stars කණ්ඩායමටයි. එහි දී ඔහු තරග 9ක දී පන්දුවාර 30.0ක් යවමින් කඩුලු 13ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

සදීර සමරවික්‍රම

  • කණ්ඩායම – Dambulla Aura
  • වෙන්දේසි වූ මුදල – ඇමරිකානු ඩොලර් 68,000

2022 නිමා වූ වසරේ දී Jaffna Kings නියෝජනය කළ සදීර සමරවික්‍රම තරග 9ක ඉනිම් 9ක දී අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 294ක් ලබා ගන්නවා. එය එම කණ්ඩායමේ මෙන් ම තරගාවලියේ ද පිතිකරුවන් අතරින් දෙවැනියට පෑ ඉහළ ම දක්ෂතාව බවට පත්වුනා.

එමෙන් ම ඔහු එම වසරේ දී කඩුල්ල පිටුපස සිටමින් දවා ගැනීම් 10කට සම්බන්ධ වුනා. එය එම තරගාවලියේ දී කඩුලු රකින්නෙක් පෑ ඉහළ ම දක්ෂතාවයි.

මේ දක්ෂතාත් සමඟින් සදීර මෙවර වෙන්දේසියේ දී Dambulla Aura කණ්ඩායමේ විශ්වාසය දිනා ගනිමින් එම කණ්ඩායම සමඟ එක් වෙනවා.

2020 වසරේ දී Dambulla Viiking නියෝජනය කළ සදීර එම තරගාවලියේ දී තරගයකට පමණක් සහභාගී වන අතර ලබා ගැනීමට හැකි වෙන්නෙ ලකුණු 3ක් පමණයි.

ඉන් අනතුරුව 2021 වසරේ දී Galle Gladiators නියෝජනය කරමින් පිටියට පිවිසි සදීරට එවර ද ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන්නේ එක් තරගයකට පමණයි. එම තරගයේ දී කිසිදු ලකුණක් ලබා ගැනීමට සමත් නොවන ඔහු කඩුල්ල පිටුපස සිටිමින් එක් දවා ගැනිමකට සම්බන්ධ වෙනවා.

සදීර මේ දක්වා නිමා වූ LPL තරගාවලි ත්‍රිත්වයේ දී තරග 11ක ඉනිම් 11ක දී ලකුණු 295ක් ලබා සිටින අතර දවා ගැනීමට දායකත්වය දැක් වූ කඩුලු සංඛ්‍යාව 11ක්.

කමිඳු මෙන්ඩිස්

  • කණ්ඩායම – B Love Kandy
  • වෙන්දේසි වූ මුදල – ඇමරිකානු ඩොලර් 60,000

මංගල තරගාවලියේ සිට ම LPL තරගාවලිය හා එක් ව සිටින කමිඳු මෙන්ඩිස් මේ දක්වා තරගාවලි 2ක දී තරග 23කට සහභාගී වෙමින් ඉනිම් 20ක දී ලකුණු 399ක් ලබා සිටිනවා. දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 8ක්.

ඔහු පළමුවෙන් ම නියෝජනය කළ Kandy Tuskers වෙනුවෙන් තරග 5ක ඉනිම් 4ක දී ලකුණු 51ක් ලබා ගන්නවා. එම තරගාවලියේ දී ඔහු පන්දුවාර 5.0ක් යැවූව ද එකඳු හෝ ප්‍රතිවාදී කඩුල්ලක් හිමි වෙන්නේ නැහැ.

2021 තරගාවලියේ දී කමිඳු තරග 8ක ඉනිම් 7ක දී ලකුණු 88ක් ලබා ගන්නවා. එම තරගාවලියේ දී පන්දුවාර 23ක් යවමින් කඩුලු 6ක් දවා ගැනීමට ද ඔහු සමත් වෙනවා.

අනතුරුව නිමා වූ වසරේ දී ද එම කණ්ඩායමේ ම සාමාජිකයෙක් ලෙසින් පිටියට පිවිසෙන කමිඳු තරග 10ක ඉනිම් 9ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 260ක් ලබා ගන්නවා. එය එම කණ්ඩායමේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් අතරින් දෙවැනි ස්ථානයට පත් වූ දක්ෂතාව බවට පත් වුනා.

පන්දු යවන්නෙක් ලෙසින් කමිඳුට එවර ලබා ගත හැකි වෙන්නෙ කඩුලු 2ක් පමණයි. ඒ සඳහා ඔහු ඉනිම් 4ක දී පන්දුවාර 9.0ක් යවනවා.

දුනිත් වෙල්ලාලගේ

  • කණ්ඩායම – Jaffna Kings
  • වෙන්දේසි වූ මුදල – ඇමරිකානු ඩොලර් 56,000

දුනිත් වෙල්ලාලගේ හා හා පුරා LPL තරගාවලිය හා එක් වෙන්නේ පසුගිය වසරේ පැවති තරගාවලිය සමඟයි. එහි දී ද ඔහු නියෝජනය කරන්නේ Jaffna Kings කණ්ඩායමයි.

නිමා වූ එම තරගාවලියේ දී ඔහු තරග 10ක දී පන්දුවාර 18.0ක් පමණක් යවමින් කඩුලු 6ක් දවා ගන්නවා. ඊට අමතර ව ඉනිම් 6ක දී පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිසෙන ඔහු ලකුණු 77ක් ද ලබා ගැනීමට සමත් වෙනවා.

නිරෝෂන් දික්වැල්ල

  • කණ්ඩායම – Colombo Strikers
  • වෙන්දේසි වූ මුදල – ඇමරිකානු ඩොලර් 44,000

මෙම වෙන්දේසියේ දී Colombo Strikers විසින් වැඩිම මුදලකට මිල දී ගත් මෙරට ක්‍රීඩකයා වූයේ නිරෝෂන් දික්වැල්ල. ඔහු මේ දක්වා LPL තරග 27ක ඉනිම් 27ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 548ක් ලබා සිටිනවා.

2000 වසරේ දී Dambulla Viiking සමඟින් LPL පිටියට පිවිසෙන දික්වැල්ල එම තරගාවලියේ දී තරග 9ක ඉනිම් 9ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 270ක් ලබා ගන්නවා. එය එම කණ්ඩායමේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් අතරින් දෙවැනි ස්ථානයට පත් වූ අතර තරගාවලියේ 5 වැනියා බවට පත්වුනා.

ඊට අමතර ව එම වසරේ දී වැඩිම දවා ගැනීම් ප්‍රමාණයකට දායකත්වය දැක් වූ කඩුලු රකින්නා බවට ද ඔහු පත්වුනා. ඊට ඔහුගේ දායකත්වය කඩුලු 10ක්.

අනතුරුව ඊට පසු වසරේ දී Dambulla Giants නියෝජනය කරන දික්වැල්ල තරග 10ක ඉනිම් 10ක දී ලකුණු 151ක් ලබා ගැනීමට සමත් වෙනවා.

නිමා වූ වසරේ දී දික්වැල්ලගේ දායකත්වය හිමි වෙන්නේ Colombo Stars කණ්ඩායම වෙතයි. එහි දී ඔහුගේ දක්ෂතාව තරග 8ක ඉනිම් 8ක දී ලකුණු 127ක්.

මෙම 10 දෙනාට අමතර ව Jaffna Kings විසින් තිසර පෙරේරා සහ මහීෂ් තීක්ෂණ ද, Colombo Strikers විසින් මතීෂ පතිරණ සහ චාමික කරුණාරත්න ද, Dambulla Aura විසින් කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු ද, Galle Titans විසින් දසුන් ශානක සහ භානුක රාජපක්ෂ ද සහ B-Love Kandy විසින් වනිඳු හසරංග සහ ඇන්ජලෝ මැතිව්ස් ද වෙන්දේසියට පෙර ම මිල දී ගෙන තිබුණා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ උණුසුම ඒ ආකාරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැදී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<