Bartlett ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට තවත් පරාජයක්

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2022

7265
Sri Lanka Emerging tour of England 2022

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ දෙවැනි තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (27) රාත්‍රියේ දී ආරම්භ වුනා.

Somerset ප්‍රාන්ත කණ්ඩායම සමඟ Taunton හිදී පැවැත්වුණු එම තරගයෙන් ද ලකුණු 66කින් පරාජයට පත්වීමට සිදු වූ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම තරගාවලිය පරාජයට පත්වීමට සිදු වුනා.

පළමු විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු කරමින් අවිශ්ක තරිඳු සහ වේගපන්දු යවන ක්‍රීඩක උදිත් මදුශාන් වෙනුවට මනෙල්කර් ද සිල්වා සහ නිපුන් රන්සික කණ්ඩායමට කැඳවා තිබුණා.

අද තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්

  • ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම – ලසිත් කෘස්පුල්ලේ, නිපුන් ධනංජය, නිශාන් මදුෂ්ක, නුවනිඳු ප්‍රනාන්දු, අශේන් බණ්ඩාර, ධනංජය ලක්ෂාන් (නායක), මනෙල්කර් ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, නිපුන් රන්සික, අම්ෂි ද සිල්වා, අශේන් ඩැනියල්.
  • Somerset ප්‍රාන්ත කණ්ඩායම – Tom Banton, James Rew, George Bartlett, Lewis Goldsworthy, Ben Green (c), James Hildreth, Kasey Aldridge, Marchant de Lange, Max Waller, Ned Leonard, Jack Brooks

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ධනංජය ලක්ෂාන් පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර Ben Greenගේ නායකත්වයෙන් ක්‍රීඩා කළ Somerset වෙනුවෙන් එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩක Tom Banton සහ දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක Marchant de Lange ක්‍රීඩා කළා.

ශ්‍රී ලංකා ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් Somerset ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 194ක් ලබා ගත් අතර අවසන් පන්දුවාර 5තුල එක් කඩුල්ලක් දැවී ලකුණු 71ක් ලබා ගැනීමට ඔවුන් සමත් වුනා.

අවසන් පන්දුවාර කිහිපයේ දී ශ්‍රී ලංකාවට දැඩි ප්‍රහාරයක් දියත් කළ 24 හැවිරිදි George Bartlett සිය පළමු විස්සයි විස්ස අර්ධ ශතකය ලබාගෙන පන්දු 38ක් තුල නොදැවී වේගවත් ලකුණු 82*ක් වාර්තා කළා. ඔහුගේ එම සුපිරි ඉනිමට 4 පහර 2ක් සහ 6 පහර 9ක් ඇතුළත් වුනා.

ඒ හැරෙන්නට ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් වුනු James Rew සහ කඩුලු රකින පිතිකරු Banton පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 55ක් තුල ලබා දුන් ලකුණු 70 ස්ථාවර අඩිතාලම ලකුණු 194ක දැවැන්ත ලකුණක් යාමට අවශ්‍ය වුනු මූලික අඩිතාලම සකස් කළා.

Rew ලකුණු 47ක් ලබා ගන්නා විට Banton ලකුණු 34කට දැවී ගිය අතර ඩැනියල් සහ මනෙල්කර් පිළිවෙළින් එම කඩුලු දෙක දවා ගත්තා. වමතින් දඟපන්දු යවන වෙල්ලාලගේ Somerset මැදපෙළ කඩුලු 2ක් ඉක්මනින් දවාගෙන ඔවුන්ගේ ඉනිම තරමක් පාලනය කළ නමුත් Bartlettගේ ප්‍රහාරාත්මක පිතිකරණයෙන් එම වෑයම් සියල්ල අපතේ ගියා. පන්දු යැවීමේ දී වෙල්ලාලගේ කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම දියත් කළ ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් පළමු තරගයේ දී මෙන් මෙවරත් යම් හෝ සාර්ථකත්වයක් ලබා ගත්තේ බණ්ඩාර පමණයි. ඔහු පන්දු 36ක දී ලකුණු 38ක් ලබා ගත් අතර අවසානයේ දී ශ්‍රී ලංකාවට පන්දුවාර 17කුත් පන්දු 3ක් අවසානයේ සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 128ක් පමණයි.

නුවනිඳු ලකුණු 21යි. දකුණතින් වේගපන්දු යවන 24 හැවිරිදි නායක Green සහ වමතින් දඟපන්දු යවන Goldsworthy කඩුලු 3 බැගින් දවා ගනිමින් පන්දු යැවීමෙන් දස්කම් දැක්වූවා.

Somerset – 194/4 (20): George Bartlett 82, James Rew 47, Tom Banton 37, දුනිත් වෙල්ලාලගේ 2/37.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම – 128 (17.3): අශේන් බණ්ඩාර 38, නුවනිඳු ප්‍රනාන්දු 21, නිපුන් ධනංජය 14, Ben Green 3/25, Lewis Goldsworthy 3/28.

ශ්‍රී ලංකාව සහභාගී වන තෙවැනි සහ අවසන් විස්සයි විස්ස තරගය හෙට (29) Gloucestershire ප්‍රාන්ත කණ්ඩායම සමඟ Bristol හිදී ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<