පාකිස්තාන ක්‍රිකට් ‘සමාදානයේ සැතපේවා’

Afghanistan vs Pakistan 2023

6512
Rashid Latif gives explosive statement about pakistan selection committee

ඇෆ්ගනිස්තාන සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කර ඇති පාකිස්තාන සංචිතයෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ඉවත් කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වන විට දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් වෙමින් සිටිනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී මෙම මස 24, 26 සහ 27 දින තුල ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් නම් කළ පාකිස්තාන සංචිතයෙන් කලක පටන් පාකිස්තාන කණ්ඩායමට නැතිවම බැරි ක්‍රීඩකයින් ලෙස සැලකුම් ලැබූ Babar Azam, Shaheen Shah Afridi මෙන්ම Mohommad Rizwan, Haris Rauf සහ Fakhar Zaman යන ක්‍රීඩකයින් පස් දෙනාවම විවේක ගැන්වීමට පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

නමුත් කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩකයින් විවේක ගැන්වීමට ගත් මෙම තීරණය හිටපු පාකිස්තාන ක්‍රීඩකයින් මෙන්ම ක්‍රිකට් රසිකයින් ද දැඩි ලෙස විවේචනය කරමින් සිටිනවා.

ඒ අතර හිටපු පාකිස්තාන ක්‍රිකට් නායකයකු වන Rashid Latif හට හිමි වන්නේ විශේෂ ස්ථානයක්.

“කාලයක් තිස්සේම අපේ ක්‍රීඩකයින් ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටියා, ඒ වගේම Babar සහ Shaheen ICC සම්මාන හිමි කර ගත්තා. ඔවුන්ට (PCB) මේක දිරව ගන්න බැරි වුනා. ඔවුන් කිව්වා ‘අපි මේක වෙන්නෙ දෙන්නේ නැහැ , දැන් අපි මෙතන ඉන්නවා, අපි තීරණ ගන්නවා.’ කියලා.

වයස අවුරුදු 70ක් 80ක් විතර වෙන විවේක ගත යුතු වුනත් විවේකයක් වත් නොගන්න පිරිසක් විසින් දැන් පාකිස්තාන ක්‍රිකට්වල ඉරණම තීරණය කරමින් සිටිනවා.

ඔබට දැන් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට ‘සමාදානයේ සැතපේවා’ කියලා කියන්න පුළුවන්.”

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය සහ තේරීම් කමිටුව විසින් පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාව විනාශ මුඛයට ඇද දමන බවයි Latifගේ අදහස වන්නේ.

“ඔබ නව ක්‍රීඩකයින් රැගෙන එන එකෙන් වෙන්නේ කණ්ඩායම් සංයුතිය වෙනස් වීම. ඇෆ්ගනිස්තානයට එරෙහි තරගාවලියේ දී අලුත් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් දස්කම් පෙන්නාවි. ඊට පස්සේ ඔවුන් (PCB) විසින් අඩු පහර දීමේ වේගයක් සහිත (Strike Rate) පරණ ක්‍රීඩකයින්ව නැවත කණ්ඩායමට ගෙනේවී. මාධ්‍ය පවා ඉන්පසුව ඔවුන්ට පීඩනයට පත් කරාවී. පාකිස්තාන ක්‍රිකට් විනාශයට යන පළමු පියවර එය වේවි.”

ඔහු තවදුරටත් සිය අදහස සනාථ කරවන අරමුණින් යුතුව එසේ පවසා සිටියා.

නමුත් පාකිස්තාන තේරීම් කමිටු ප්‍රධානී Haroon Rasheed විසින් පවසන්නේ තේරීම් කමිටුවට අවශ්‍ය වන්නේ එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් ක්‍රීඩකයින් ප්‍රමාණය (Pool) වැඩි කර ගැනීම බවයි.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<