Surrey ප්‍රබලයින් හමුවේ ශ්‍රී ලංකාවට හොඳ අත්දැකීමක්

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2022

671
Sri Lanka Emerging tour of England 2022

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ විස්සයි විස්ස තරගාවලිය ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (25) රාත්‍රියේ දී ආරම්භ වුනා.

තරග තුනකින් සමන්විත මේ තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 9ක දැවැන්ත පරාජයක් උරුම කර ගැනීමට ශ්‍රී ලංකාවට සිදු වුනත්, එය ඔවුන්ට මිල කළ නොහැකි අත්දැකීමක් වුනා. ඊට හේතුව නම්, එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කර තිබෙන ක්‍රීඩකයින් 6 දෙනෙක් මේ Surrey කණ්ඩායම තුල ක්‍රීඩා කිරීම නිසයි.

කාසියේ වාසිය දිනූ Surrey නායක Chris Jordan ධනංජය ලක්ෂාන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාවට පළමුව පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දුන්නා. අම්ෂි ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ සහ අවිශ්ක තරිඳු යන ක්‍රීඩකයින්ගේ මංගල විස්සයි විස්ස තරගය මෙය වුනා.

  • ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම – ලසිත් කෘස්පුල්ලේ, නිපුන් ධනංජය, නිශාන් මදුෂ්ක, නුවනිඳු ප්‍රනාන්දු, අශේන් බණ්ඩාර, අවිශ්ක තරිඳු, දුනිත් වෙල්ලාලගේ, උදිත් මදුශාන්, අම්ෂි ද සිල්වා, අශේන් ඩැනියල්.
  • Surrey ප්‍රාන්ත කණ්ඩායම – Jason Roy, Will Jacks, Ollie Pope, Laurie Evans, Sam Curran, Jamie Overton, Jordan Clark, Chris Jordan (c), Dan Moriarty, Daniel Worrall, Reece Topley.

ලසිත් කෘස්පුල්ලේ සමඟ නිපුන් ධනංජය ශ්‍රී ලංකා නැගී එන ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට අවතීර්ණ වුනු අතර ශ්‍රී ලංකා පළමු කඩුලු 3 ලකුණු 19ක් තුල දවා ගැනීමට Surrey වේගපන්දු යවන්නන් සමත් වුනා.

අනතුරුව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් නායක ලක්ෂාන් සහ නුවනිඳු එක්ව ලකුණු 38ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ලකුණු සටහනට යම් ස්ථාවරත්වයක් ලබා දුන් අතර අවසානයේ දී එය ශ්‍රී ලංකාව මේ තරගය තුල ලබා ගත් හොඳම සබඳතාවය ද එය වුනා.

එම සබඳතාවය අවසන් කරමින් 4 පහර 4ක් සමඟ පන්දු 21ක් තුල ලකුණු 27ක් ලබා ගැනීමට ලක්ෂාන් සමත් වුනු අතර නුවනිඳුගේ දැවී යාමට පසුව පිටියට අවතීර්ණ වුනු අශේන් බණ්ඩාර 4 පහර 3ක් එල්ල කරමින් පන්දු 34ක් තුල ලකුණු 33ක් ලබා ගත්තා.

ලක්ෂාන් සහ බණ්ඩාර හට හැරෙන්නට අනෙක් කිසිදු ශ්‍රී ලාංකික පිතිකරුවෙක් හට හෝ ලකුණු 8 සීමාව අභිබවා යාමට Reece Topley ඇතුළු Surrey පන්දු යවන්නන් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.

එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව පන්දුවාර 18කුත් පන්දු 5ක් අවසානයේ සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 111ක් පමණයි. පන්දු යැවීමේ දී කෙටි වේගවත් බවුන්සර් පන්දුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට වැඩි අභියෝගයක් ලබා දුන් Reece Topley කඩුලු 3ක් දවා ගන්නා විට, Jamie Overton සහ Sam Curran යන වේගපන්දු යවන්නන් දෙදෙනා ද ශ්‍රී ලංකා කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු Surrey ප්‍රාන්ත ඉනිම ආරම්භ කළ Jason Roy සහ Will Jacks පළමු පන්දු 19 තුල වේගවත් ලකුණු 40ක සබඳතාවයක් ගොඩනංවමින් සාර්ථක ආරම්භයක් ලබා දුන්නා.

වේගපන්දු යවන උදිත් මදුශාන්ගේ පන්දුවක් හමුවේ Roy ලකුණු 11කට දැවී ගිය පසුව පිටියට අවතීර්ණ වුනු Ollie Pope සහ Jacks එකතුව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39ක් තුල වේගවත් සහ නොදැවුණු ලකුණු 71*ක සබඳතාවයක් ගොඩනංවමින් Surrey ජයග්‍රහණය තහවුරු කළා.

අවසානයේ දී පන්දුවාර 9කුත් පන්දු 4ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී Surrey ප්‍රාන්ත කණ්ඩායම මේ තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් ලබා ගත්තා.

23 හැවිරිදි දකුණත් පිතිකරු Jacks සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ ලබා ගත් 13 වැනි අර්ධ ශතකය වාර්තා කර ගනිමින් නොදැවී ලකුණු 58*ක් ලබා ගත් අතර පන්දු 31ක දී වාර්තා වුනු ඔහුගේ ඉනිමට මනරම්  4 පහර 7ක් සහ 6 පහර 3ක් ඇතුළත් වුනා.

 කඩුලු රකින පිතිකරු Pope 4 පහර 3ක් සහ 6 පහරක් සමඟ පන්දු 20ක දී නොදැවී ලකුණු 31*ක් ලබා ගත්තා.

  • ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම – 106 (18.5): අශේන් බණ්ඩාර 33, ධනංජය ලක්ෂාන් 27, Reece Topley 3/13, Jamie Overton 2/08, Sam Curran 2/21.
  • Surrey ප්‍රාන්ත කණ්ඩායම – 111/1 (9.4): Will Jacks 58*, Ollie Pope 31*, උදිත් මදුශාන් 1/31.

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි විස්සයි විස්ස තරගය හෙට (27) Somerset ප්‍රාන්ත කණ්ඩායම සමඟ Taunton හිදී ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<