T20 පිටියට වර්ෂාව කඩා වදී

SLC Major Club T20 Tournament 2022

368

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (27) හය වැනි දිනයටත් ක්‍රියාත්මක වූවද පැවති තරග 6න් 5ක් ම විසඳුමකින් තොරව නිමා කිරීමටයි සිදු වූයේ. ඒ කොළඹ සහ ඊට තදාසන්න ප්‍රදේශවලට ඇද හැළුණ වර්ෂාව හේතුවෙන්.

මෙසේ පැවති තරග අතර Colts CC පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ Chilaw Marions CC සහ Nugegoda SWC අතර තරගයත්, මොරටුව ද සොයිසා ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ Colts CC සහ Negombo CC අතර තරගයත් සහ මග්ගොන Surrey ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිත තිබූ Panadura SC සහ NCC අතර තරගයත් එකඳු පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට සිදු වූවා.

ඊට අමතර ව Colts CC ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙමින් තිබූ BRC සහ Ragama CC අතර තරගයත් සහ මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙමින් තිබූ Sebastianites C & AC සහ Kandy Customs CC අතර තරගයත් විසඳුමකින් තොරව අවසන් වූවා.

පැවති තරග අතරින් විසඳුමකින් නිමා වූයේ Tamil Union C & AC සහ Police SC කණ්ඩායම් අතර තරගයයි. එහි දී Police SC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 4ක ජයග්‍රහණයක් හිමි වූවා.

මග්ගොන Surrey ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් Police SC ක්‍රීඩකයෝ පන්දුවෙන් පන්දු යවමින් Tamil Union ක්‍රීඩකයෝ ලකුණු 125කට සීමා කළා. එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු සදීර සමරවික්‍රම පන්දු 29කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ලබා ගත් අතර රොන් චන්ද්‍රගුප්ත පන්දු 23කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී 28 හැවිරිදි පා දඟපන්දු යවන සුපුන් මධුශංක ලකුණු 24කට කඩුලු 4ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Police SC ක්‍රීඩකයෝ පන්දුවාර 15ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 92ක් ලබා සිටියා. ඒ වෙද්දී වට වර්ෂාව හේතුවෙන් තරගය නතර වූ අතර ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ඔවුන්ට එම අවස්ථාව වෙන විට අවශ්‍යව තිබුණේ ලකුණු 88ක් පමණයි.

Police SC වෙනුවෙන් ආරම්භක පිතිකරු දිල්හාර පොල්ගම්පොළ පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තා. ඊට අමතර ව මහේෂ් ප්‍රියදර්ශන ලබා ගත් ලකුණු සංඛ්‍යාව 39ක්. ඔහු ඊට පන්දු 31ක් වැය කළ අතර හතරේ සහ හයේ පහර 2ක් බැගින් ඊට එක් කළා.

Tamil Union C & AC සහ Police SC අතර තරගය (මග්ගොන Surrey ක්‍රීඩා පිටියේ දී)

  • Tamil Union C & AC – සියලුම දෙනා දැවී 125 (20) සදීර සමරවික්‍රම 27, රොන් චන්ද්‍රගුප්ත 21, සුපුන් මධුශංක 4/24
  • Police SC – කඩුලු 3ක් දැවී 92 (15) දිල්හාර පොල්ගම්පොළ නොදැවී 40, මහේෂ් ප්‍රියදර්ශන 39

Police SC ක්‍රීඩා සමාජයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 4ක ජයග්‍රහණයක්

Sebastianites C & AC සහ Kandy Customs CC අතර තරගය (මොරටුව ද සොයිසා ක්‍රීඩා පිටියේ දී)

  • Sebastianites C & AC – කඩුලු 2ක් දැවී 25 (5) නිමන්ත පෙරේරා 14, මෙතුෂාන් තිළිණ 1/04

තරගය විසඳුමකින් තොරව අවසන් වූවා.

BRC සහ Ragama CC අතර තරගය (Colts CC ක්‍රීඩා පිටියේ දී)

  • BRC – කඩුලු 6ක් දැවී 94 (16) තිලකරත්න සම්පත් 34, විකුම් සංජය නොදැවී 12, ඒෂාන් මාලිංග 2/10, ජනක සම්පත් 3/17

තරගය විසඳුමකින් තොරව අවසන් වූවා.

හෙට (28) තරගාවලියේ 7 වැනි දිනයයි. දිනෙන් දින උණුසුම් වන තරගාවලියේ අලුත් ම තතු විත්ති දැන ගන්න රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<