ශ්‍රී ලංකා – නේපාල මිත්‍රත්ව තරගය ජය පැරදුමෙන් තොරයි

253

ශ්‍රී ලංකා සහ නේපාල පාපන්දු කණ්ඩායම් අතර නිල නොවන සුහද පාපන්දු තරගයක් ඊයේ (31) කටාර් හිදී පැවති අතර තරගය අවසන් වුනේ ගෝල 1-1ක් ලෙස ජය පැරදුමෙන් තොරවයි.

නේපාල කණ්ඩායමේ අභියෝගවලට පෙරළා අභියෝග කරමින් ශ්‍රී ලංකාව මෙම තරගය පුරාවටම දක්ෂතා දක්වන්නට සමත් වූ අතර දිගු පහරවල් ඔස්සේ ශ්‍රී ලංකාව ප්‍රතිවාදීන්ට අභියෝග කරනු ද දක්නට ලැබුණා.

එවැනි එක් දිගු ප්‍රහාරයක් ඔස්සේ ශ්‍රී ලංකාව සාර්ථකව ගෝල රැස්කිරීම ආරම්භ කළේ 80 වැනි මිනිත්තුවේ දීයි. එම ගෝලයේ හිමිකාරිත්වය Mariyathas Nitharshan සතු වුනා.

අතිරේක කාලයේ (90+1) දී තරගයේ ගෝල මට්ටම සම කරන්නට නේපාල ක්‍රීඩකයින් සමත් වුනේ Afeel Mohamed විසින් සිදු වූ අත්වැරදීමක ප්‍රතිඵලයක් ලෙස ලැබුණු දඬුවම් පහරක් ඔස්සේයි.

තරගය පුරාවටම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ආබාධවලට ලක්වනු දක්නට ලැබුණු අතර එහි දී වඩාත් අවධානය දිනා ගත්තේ ප්‍රථම අර්ධයේ දී චලන චමීරගේ හිස ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුගේ හිසේ වැදීමෙන් සිදු වූ අනතුරයි. ඒත් සමඟින් ඔහුව පිටියෙන් ඉවත් කිරීමට ද කටයුතු කෙරුණා.

කෙටී කාලීන පුහුණුවකින් පසුව ශ්‍රී ලංකාව සහභාගී වූ මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනත්, නිසැකව මෙය ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ චිත්ත ධෛර්යය ඉහළ නැංවීමට සමත් වනු නොඅනුමානයි.

ඔවුන් ජුනි 08 වැනිදා සිට 14 වැනිදා දක්වා උස්බෙකිස්තානයේ දී පැවැත්වීමට නියමිත AFC කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා තවත් හොඳින් පුහුණුවීම් කටයුතු සිදු කරමින් සිය දක්ෂතා වැඩිදියුණු කර ගැනීමට කටයුතු කරමින් පසුවනවා.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<