AFC කුසලාන තේරීම් වටයේ දී ශ්‍රී ලංකාව ප්‍රබල කාණ්ඩයකට

20න් පහළ ආසියානු කුසලානය 2023

219

කණ්ඩායම් 44ක් තරග වදින වයස අවුරුදු 20න් පහළ  ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ කණ්ඩායම් කාණ්ඩවලට බෙදා වෙන්කිරීම මැලේසියාවේ Kuala Lumpur හිදී සිදු කෙරුණා.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සැප්තැම්බර් 10 සිට 18 දක්වා පැවැත්වීමට නියමිත අතර එක් එක් කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම් 10 සහ හොඳම දෙවැනි කණ්ඩායම් 5  යොවුන් ආසියානු කුසලානයට සුදුසුකම් ලබා ගන්නවා.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් මෙම තරගාවලියේ දී E කාණ්ඩයෙන් තරග වදින අතර මොංගෝලියාව සත්කාරකත්වය දරන එම කාණ්ඩයට 12 වතාවක් තරගාවලියේ ශූරයන් වූ ප්‍රබල දකුණු කොරියාව සහ මැලේසියාව ද ඇතුළත්.

F කාණ්ඩයේ සත්කාරකත්වය ඉන්දුනීසියාවට හිමි වෙද්දී, එම කාණ්ඩය සඳහා වියට්නාමය, හොංකොං සහ Timor-Leste යන කණ්ඩායම් ඇතුළත් වන අතර 2018 වසරේ ශූරයන් වන සවුදි අරාබිය A කාණ්ඩයේ සත්කාරකත්වය දරද්දී එයට මියන්මාරය, මාලදිවයින, China PR සහ Uzbekistan ඇතුළතව තිබෙනවා.

B කාණ්ඩයෙන් බහරේන්, කටාර්, බංග්ලාදේශය, නේපාලය සහ භූතානය තරගාවලියට එක්වෙද්දී, එහි සත්කාරකත්වය හිමිව ඇත්තේ බහරේන් දේශයටයි.

ලාඕසය සත්කාරකත්වය දරන C කාණ්ඩයට ජපානය, යේමනය, පලස්තීනය සහ Guam යන කණ්ඩායම් තේරීපත්ව ඇති අතර ජෝර්දානය සත්කාරකත්වය දරන D කාණ්ඩයට ඇතුළත්ව ඇති කණ්ඩායම් වන්නේ චීන තායිපේ, සිරියාව, Turkmenistan සහ Northern Mariana Islands.

දෙවතාවක් ශූරයන් වන තායිලන්තය G කාණ්ඩය යටතේ මෙවර තරග වදින අතර ඇෆ්ගනිස්තානය, පිලිපීනය ඇතුළත් වන එම කාණ්ඩයේ සත්කාරකත්වය හිමිව ඇත්තේ ඕමානයටයි.

ඕස්ට්‍රේලියාව, ඉරාකය, ඉන්දියාව සහ කුවේට් කණ්ඩායම් ඉරාක සත්කාරකත්වය යටතේ H කාණ්ඩයෙන් තරග වදිද්දී, කාම්බෝජය, ලෙබනනය සහ සිංගප්පූරුව තරග වදින I කාණ්ඩයේ සත්කාරකත්වය හිමිව තිබෙන්නේ ටජිකිස්තානයටයි.

2006 වසරේ පැවති තරගාවලියේ අවසන් මහා තරගයට පැමිණි Kyrgyz Republic කණ්ඩායම J කාණ්ඩයේ සත්කාරකත්වය දරමින් මෙවර තරගාවලියට එක්වන විට එක්සත් අරාබි එමිර් රාජ්‍යය, ඉරානය සහ Brunei Darussalam කණ්ඩායම් එම කාණ්ඩයට ඇතුළත්.

තරගාවලියේ කණ්ඩායම් කුසපත් ඇදීමේ ප්‍රතිඵල,

Sri Lanka Group E - AFC U20 Asian Cup Uzbekistan 2023>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<