ශ්‍රී ලංකා පාපන්දුව ASPIRE පාපන්දු ඇකඩමිය සමඟ අත්වැල් බැඳ ගනී

125

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා කටාර් පාපන්දු සම්මේලනය හා ලොව පුරා සුප්‍රසිද්ධ කටාර් ඇස්පයර් (ASPIRE) පාපන්දු ඇකඩමිය සමඟ අත්වැල් බැද ජාතික පාපන්දු කණ්ඩායමේ දක්ෂතා උසස් තලයට ගෙන ඒමට හා ශ්‍රී ලංකා පාපන්දු සංවර්ධනයට වසර 3ක ගිවිසුමක් 2022 ජූලි මාසයේ සිට ක්‍රියාවට නංවයි.

‍මෙම ව්‍යාපෘතිය උදෙසා මූලය අනුග්‍රහය හා තාක්ෂණික සහයෝගය ඇතුළු සියලු පහසුකම් සුප්‍රසිද්ධ කටාර් ඇස්පයර් (ASPIRE) පාපන්දු ඇකඩමිය විසින් ලබා දෙන අතර විදේශීය පාපන්දු පුහුණු උපදේශකයින් තිදෙනකු කටාර් පාපන්දු සම්මේලනය මගින් ලබා දෙනු ඇත.

ඒ අනුව දැනටමත් විදේශීය පාපන්දු පුහුණු උපදේශකයන් දෙදෙනකු ශ්‍රී ලංකාවට එවා ඇති අතර ප්‍රධාන පුහුණු උපදේශක ස්කොට්ලන්ත ජාතික Andrew Morrison මහතා හා සහය පුහුණු උපදේශක බ්‍රිතාන්‍ය ජාතික Keith Stevens මහතා වැඩ ආරම්භ කොට ඇත. ඔවුන් සමඟ මේ වන විට ශාරීරික යෝග්‍යතා පුහුණුකරු  මාකොස් පෙරෙයිරා මහතා ද තම රාජකාරි ආරම්භ කොට තිබේ.

මේ ආකාරයෙන්ම ඉදිරියේ දී ගෝල රකින ක්‍රීඩකයන් පුහුණු කිරීමේ විදෙස් පුහුණු උපදේශකයකු ශ්‍රී ලංකාවට එවීමට කටාර් පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමර් මහතා වෙත එකඟතාව පළ යකාට ඇත.

අපේ රටට පැමිණ සිටින 51 හැවිරිදි Andrew Morrison මහතා එංගලන්තයේ මැන්චෙස්ටර් සිටි සහ ක්‍රිස්ටල් පැලස් යන පාපන්දු කණ්ඩායම් නියෝජනය කර ඇති අතර මැන්චෙස්ටර් සිටි කණ්ඩායමේ නායකයා ලෙස ද වරින් වර කටයුතු කර ඇත. යුරෝපා පාපන්දු සම්මේලනයේ ඉහළම බලපත්‍රධාරී පුහුණුකරුවකු වන Morrison මහතා යටතේ කොනස්කි නොමෑඩ්ස් කණ්ඩායම වේල්සයේ අන්තර් සමාජ ලීග් පාපන්දු ශූරතාව ජයග්‍රහණය කළේය.

එංගලන්ත පාපන්දු ලීගය දිගු කලක් නියෝජනය කර ඇති 57 හැවිරිදි Keith Stevens මහතා ඕස්ට්‍රේලියානු කාන්තා පාපන්දු ලීගයේ ශූරතාව දිනූ බ්‍රිස්බේන් රෝර් ක්‍රීඩා සමාජයේ හිටපු සහාය පුහුණුකරු වේ.

මෙම විදේශීය පාපන්දු පුහුණු උපදේශකයින් දෙදෙනා පසුගිය දින කිහිපය තුල ජාතික පාපන්දු පිලේ ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ගේ දක්ෂතා අධ්‍යනය කිරමින් සිටින අතර ඔවුන්ගේ පහසුකම් හා මෙරට පාපන්දු ක්‍රීඩාවේ තාක්ෂණික ව්‍යුහය පිළිබඳ අවබෝධයක් ලබමින් පසුවෙති.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ලබන ජුනි මාසයේ උස්බෙකිස්තානයේ පැවැත්වීමට නියමිත ආසියානු පාපන්දු කුසලාන තරගාවලියේ සුදුස්සන් තෝරා ගැනීමේ තරග වටයට සහභාගී වන බැවින් ඒ සඳහා ඉදිරි පියවර ද සමාලෝචනය කරමින් සිටි. එම තරගාවලියේ දී ශ්‍රී ලංකා පිලට අවශ්‍ය තාක්ෂණික සහයෝගය හා දක්ෂතා වර්ධනය කර ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශයන් දේශීය පුහුණුකාර්ය මණ්ඩලයට මෙම පුහුණු උපදේශකයන් දෙදෙනා ලබා දෙනු ඇත.

මේ වන විට විදේශීය පාපන්දු පුහුණු උපදේශකයින් දෙදෙනා ශ්‍රී ලංකාවේ පරිසරයට හුරුවෙමින් පවතින අතර ක්‍රීඩකයන් හා දේශීය පුහුණුකරුවන් අතර සන්නිවේදනය ගොඩ නගා එකිනෙකා අතර අවබෝධය ඉහළ නංවමින් පවති. එබැවින් සති 3ක් 4ක් යද්දී එකම අරමුණකින් යුතුව ජාතික පාපන්දු සංවර්ධන සැලැස්ම වඩාත් සක්‍රිය වනු ඇතැයි විශ්වාස කළ හැක.

ජාතික පාපන්දු කණ්ඩායම සමඟ හා තාක්ෂණික අංශ සමඟ මෙන්ම දේශීය පුහුණුකරුවන් සමඟ පුළුල් සාකච්ඡාවකින් අනතුරුව මෙම පුහුණු උපදේශකයන් දෙදෙනා දැනට පවතින අඩුපාඩු හා දක්ෂතා නිරීක්ෂණය කොට කටාර් පාපන්දු සම්මේලනයට වාර්තාවක් ලබා දීමට ද නියමිතය.

ජාතික පාපන්දු සංවර්ධන සැලැස්ම යටතේ ඉදිරියෙන්ම සිටින දේශීය පුහුණුකරුවන් පුහුණු කිරීමේ පාඨමාලා හා දක්ෂ ක්‍රීඩයන් විදේශීය පාපන්දු ලීග් තරග වෙත යොමු කිරීම ද සිදු කිරීම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සැලසුම් සකස් කර ඇත.

පාපන්දු සම්මේලනයේ මාධ්‍ය නිවේදනයකි.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<