Varma සහ Surya වීරයන් වී, නායක Pandya විකටයෙකු බවට පත් වෙයි?

India tour of West Indies 2023

9229

බටහිර ඉන්දීය කොදෙව් දේශය සමඟ පැවැත්වෙන තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ තෙවැනි තරගය ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායමට ඊයේ (08) හැකියාව ලැබුණු අතර එහි දී Tilak Varma, Suryakumar Yadav සහ Kuldeep Yadav විසින් විශේෂ කඩඉම් කිහිපයක් ද පසු කර යෑමට සමත් වුනා. 

තරගාවලියේ පළමු තරග දෙක ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විසින් ජයග්‍රහණය කිරීම නිසා මෙම තරගය පරාජය වී නම් ඉන්දියාවට තරගාවලිය පරාජය වීමේ අවදානමක් මතු වී තිබූ නමුත්, ඉන්දියාව එම අවදානමෙන් මුදවා ගැනීමට මෙම ක්‍රීඩකයින් තිදෙනාගේ විශිෂ්ට දක්ෂතාවලට හැකියාව ලැබුණා. 

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5කට ලකුණු 159ක් ලබා ගැනීමට සමත් වූ අතර එහි දී ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දඟපන්දු යවන ක්‍රීඩක Kuldeep Yadav විසින් ලකුණු 28කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා. 

මෙම කඩුලු තුනත් සමඟින් ඔහු විසින් සිය විස්සයි විස්ස කඩුලු 50 සීමාවට ළඟා වීමට සමත් වූ අතර, ඉන්දියාව වෙනුවෙන් වේගවත් ම විස්සයි විස්ස කඩුලු 50 ලබා ගැනීමේ වාර්තාව ද තමන් සතු කර ගැනීමට* ඔහු සමත් වුනා. 

*. මීට පෙර Yuzvendra Chahal විසින් තරග 34ක් තුළ කඩුලු 50 සීමාව පසු කළ අතර Yadav විසින් තරග 30කින් එය සිදු කළා. 

මේ අතර කොදෙව්වන් විසින් ලබා දුන් ලකුණු 160ක ඉලක්කය හඹා ගිය ඉන්දිය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා සුපුරුදු ලෙස ඉක්මනින් දැවී ගිය ද, එතැන් පටන් පිටියේ එක් වූ Tilak Varma සහ Suryakumar Yadav විසින් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 87ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා. 

මෙතෙක් තරගාවලියේ පැවැත්වුණු තරගවල දී සාර්ථක ලෙස ලකුණු අතරට පිවිසීමට නොහැකිව සිටි Suryakumar විසින් මෙම තරගයේ දී නැවත වරක් තමන් ලොව අංක එකේ විස්සයි විස්ස පිතිකරු වන්නේ මන්දැයි මනාව පැහැදිලි කර දීමට සමත් වෙමින් පන්දු 44ක් තුළ ලකුණු 83ක් ලබා ගැනීමට සමත් වුනා.  

ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 10ක් අන්තර්ගත වී තිබූ අතර මෙම ඉනිමේ ඔහු විසින් එල්ල කළ තෙවැනි හයේ පහර ඔහුට විශේෂ කඩඉමක් පසු කර යෑමට ද සහය වුනා. 

Surya සිය ඉනිමේ එල්ල කළ තෙවැනි හයේ පහරත් සමඟ ඔහු සිය විස්සයි විස්ස දිවියේ 100 වැනි හයේ පහර වාර්තා කිරීමට සමත් වූ අතර, ඒත් සමඟින් ලොව දෙවැනියට වේගවත් ම හයේ පහර 100 ලබා ගැනීමේ සම වාර්තාව ද** තමන් සතු කර ගැනීමට ඔහු සමත් වුනා. 

**.ඉනිම් 49ක් තුළ Surya විසින් මෙම හයේ පහර 100 ලබා ගත් අතර, ඔහු Chris Gayle හා සම වීමට ද සමත් වුනා. මෙහි පළමු තැන ඉනිම 42කින් හයේ පහර 100 ලබා ගත් Evin Lewis හට හිමි වී තිබෙනවා. 

මේ අතර මෙම තරගාවලියේ ඉන්දීය කණ්ඩායමේ ජාමය බේරූ පිතිකරු ලෙස හඳුන්වා දිය හැකි Tilak Varma විසින් ඊයේ දිනයේ දී පන්දු 37කින් ලකුණු 49ක් ලබා ගැනීමට සමත් වුනා. 

මෙම විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයේ දී ජාත්‍යන්තර වරම් හිමි කර ගත් Tilak විසින් එතැන් පටන් ක්‍රීඩා කළ ඉනිම් තුන තුළ දී පිළිවෙළින් ලකුණු 39ක්, 51ක් සහ 49ක් ලබා ගනිමින් සමස්ත ලකුණු 139ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.  

ඒත් සමඟින් Tilak සිය පළමු විස්සයි විස්ස ඉනිම් තුනේ දී ඉන්දියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභී පිතිකරුවන් අතර දෙවන ස්ථානයට පැමිණීමට සමත් වූ අතර, එහි ප්‍රථම ස්ථානය පළමු විස්සයි විස්ස ඉනිම් තුනේ දී ලකුණු 182ක් ලබා ගත් Deepak Hooda හට හිමි වී තිබෙනවා. 

එමෙන්ම Suryakumar Yadavට පසුව සිය පළමු විස්සයි විස්ස ඉනිම් තුන තුළ දී ලකුණු 30 සීමාව ඉක්මවා ගිය පළමු ඉන්දීය පිතිකරුවා බවට පත් වීමට ද Tilakට ඊයේ හැකියාව ලැබුණා. 

IPL තරගාවලියේ දී Mumbai Indians වෙනුවෙන් ක්‍රීඩා කරන Tilak Varma දීර්ඝ කාලයක් තිස්සේ ඉන්දීය ජාතික කණ්ඩායමට එක් වීමට මාන බලමින් සිටි ක්‍රීඩකයෙක් ලෙස හඳුන්වා දිය හැකියි.  

එමෙන්ම MI හිදි බොහෝ විට එකට ක්‍රීඩා කරනවා දකින්නට ලැබෙන Suryakumar Yadav සමඟින් ඔහු ඊයේ දිනයේ ඉන්දියාව දිනවීමට ක්‍රීඩා කරන අයුරු දකින්න ලැබීමත් විශේෂත්වයක්.  

ඊයේ තරගයෙන් අනතුරුව තරගයේ වීරයා සම්මානය දිනා ගත් Surya ද විශේෂයෙන්ම සඳහන් කළේ Tilak සමඟ කලක පටන් ක්‍රීඩා කර තිබූ අත්දැකීම් නිසා දෙදෙනා ම සාර්ථක සබඳතාවක් පිහිටුවීමට සමත් වූ බවයි. 

කෙසේ වෙතත් මෙම තරගය නිමා වීමට පෙර Suryaගේ ඉනිම නිමා වූ අතර ඉන්පසු නායක Hardik Pandya පිටියට පිවිසුණා. එතැන් පටන් Tilak සහ Hardik ඉන්දීය ඉනිම ජයග්‍රහණය කරා රැගෙන ගිය නමුත් මෙහි දී Hardik විසින් ක්‍රීඩා කළ ආකාරය පිළිබඳ ඉන්දීය ක්‍රිකට් රසිකයින්ගෙන් දැඩි දෝෂාරෝපණ එල්ල වෙමින් පවතිනවා. 

මෙම තරගයේ 18 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවට එක් ලකුණක් ලබා ගත් Tilak Varma ලකුණු 49 සීමාවට පැමිණි අතර, ඒ වන විට ඉන්දීය කණ්ඩායමට තරගය ජයග්‍රහණය කිරීමට තවත් ලකුණු දෙකක් අවශ්‍ය ව තිබුණා. නමුත් ඒ මොහොතේ ක්‍රියාත්මක වූ Hardik Pandya විසින් Rovman Powell යොමු කළ එම පන්දුවාරයේ පස්වැනි පන්දුවට හයේ පහරක් එල්ල කරමින් තරගය නිමා කළා. 

එම නිසා මෙවර තරගාවලියේ පිට පිට ම දෙවැනි අර්ධ ශතකය ලබා ගැනීමට Tilak Varmaට තිබූ අවස්ථාව අහිමි වී ගිය අතර, මේ සිදුවීම පිළිබඳ මහත් වූ අප්‍රසාදයෙන් යුතුව වාර්තා කරන ඉන්දීය මාධ්‍ය විසින් පවසන්නේ ඊට මොහොතකට පෙර Tilak ලකුණු 44ක් ලබා සිටි මොහොතේ Hardik විසින් ඔහුට කඩුල්ලේ රැඳී සිටිමින් තරගය නිමා කරන ලෙස උපදෙස් (Stump Mic හරහා ඇසුණු පරිදි) ලබා දුන් බවයි. 

එමෙන්ම මෙම සිදුවීම සමඟ 2014 විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වුණු තරගය අතරතුර එවකට ඉන්දීය නායක Mahendra Singh Dhoni විසින් පන්දුවාරයක අවසන් පන්දුවේ ලකුණු ලබා නොගනිමින් අනෙක් අන්තයේ රැඳී සිටි තම පිතිකරණ සගයා වූ Virat Kohli හට තරගයේ ජයග්‍රාහී ලකුණ ලබා ගැනීමට ඉඩ ලබා දුන් සිදුවීම ද කරළියට පැමිණ තිබෙනවා. 

එම සිදුවීම ද ඈඳා ගනිමින් මේ වන විට සමාජ මාධ්‍යජාලා වල  Hardik Pandya ආත්මාර්ථකාමී නායකයකු බව පවසමින් ඔහුට දැවැන්ත දෝෂාරෝපණ එල්ල කිරීමට ඉන්දීය ක්‍රිකට් රසිකයින් පෙළ ගැසී සිටිනවා. 

“Hardik Pandyaගේ වංචාව 

පළමුව පහසු තරගයක Sanju Samsonට පෙර ඇවිත් ගෞරවය සොරා ගත්තා. ඒ වගේම Tilakගේ අර්ධ ශතකය කාලා දැම්මා. 

ඔබ නායකත්වයට සුදුසු චරිතයක් නෙවෙයි. ඔබ ගෞරවය සොරා ගන්නෙක් සහ ආත්මාර්ථකාමියෙක්.” 

“Hardik Pandya වගේ ආත්මාර්ථකාමී ක්‍රීඩකයෙක් දැකලා ම නැහැ. Tilak ඔහුගේ තුන්වැනි තරගයේ දී ලකුණු 49 හිටියේ. Hardik හයේ පහරකින් තරගය ඉවර කළා. එහෙම ද නායකයෙක් විය යුතු? 

කණගාටුදායකයි!” 

“ලකුණු 10ක් අවශ්‍ය වෙලාවේ (ජයග්‍රහණයට) Hardik Pandya විසින් Tilak Varmaට කියනවා අවසානය වෙනකම් ඉන්න ඔබට ඉවර කරන්න තියෙනවා කියලා. 

ලකුණු 2ක් අවශ්‍ය වෙලා Tilak Varma ලකුණු 49 ඉන්න වෙලාවේ Hardik Pandya තරගය ඉවර කරනවා. 

විකට 🤡 Pandya” 

මේ Pandyaගේ ක්‍රියාව පිළිබඳ කෝපයට පත් ඉන්දීය ක්‍රිකට් රසිකයින් Twitter හරහා පළ කළ අදහස් කිහිපයක් පමණයි. තවත් එවැනි විවේචනය කිරීම් රැසක් සමාජ මාධ්‍ය තුල දී ඔබට දැක ගත හැකි වනු නොඅනුමානයි. 

ඉන්දියා – බටහිර ඉන්දීය කොදෙව් විස්සයි විස්ස තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Hindustan Times ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<