අලුත් ශ්‍රී ලංකා පාපන්දු පුහුණුකරුවන් දිවයිනට

225
Sri Lanka National Men’s Football Head Coach Andrew Morrison & Assistant Coach Keith Stevens arrives in Sri Lanka 2022

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට අලුතින් පත් වූ විදෙස් පුහුණුකරුවන් දෙදෙනා සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීම සඳහා ඊයේ (15) දිවයිනට පැමිණි බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ප්‍රකාශ කර සිටියා.

ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ පළමු වරට විදෙස් පුහුණුකරුවන් දෙදෙනෙකු කණ්ඩායමට පත් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු කළ අතර ඒ අනුව හිටපු Manchester City ක්‍රීඩකයෙකු වන Andrew Morrison ප්‍රධාන පුහුණුකරු ලෙසත්, ඕස්ට්‍රේලියානු ජාතික Keith Stevens සහය පුහුණුකරු ලෙස වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

එම පුහුණුකරුවන් දෙදෙනා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළෙන් මෙරටට ළඟා වූ අතර දිවයිනට පැමිණීමෙන් පසුව අදහස් දැක්වූ  Andrew Morrison මහතා ප්‍රකාශ කර තිබුණේ,

අපි වැඩ ආරම්භ කරන්නයි බලාගෙන ඉන්නේ. එය දීර්ඝ ගුවන් ගමනක්. ක්‍රීඩකයින් සහ පාපන්දු සභාපතිවරයා හමුවීමෙන් අනතුරුව මෙය ආරම්භ කරන්න සූදානම්. ඇත්තටම ගොඩක් සතුටු වෙනවා මේ ලැබුණු අවස්ථාව ගැන.

අපි බොහෝ සොයා බැලීම් සිදු කරලා දර්ශන ගොඩක් ලබා ගත්තා. අපි ඒවා ඉදිරි දිනවල බලන්න සූදානම්. ඒත් තරග පැමිණෙද්දී අපි සූදානම්ව සිටිය යුතුයි. අපේ අන්තයෙන් ගොඩක් සැලසුම් කරලා මහන්සි වෙලා වැඩ කරන්න තියෙනවා”.

මෙම පුහුණුකරුවන් දෙදෙනා පාපන්දු සභාපතිවරයා මුණගැසීමට පෙර පාපන්දු පුහුණු සැසියක් නිරීක්ෂණය කිරීමට සූදානම් බව ද පාපන්දු සම්මේලනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වුනා.

මෙම පත්කිරීම ශ්‍රී ලංකා පාපන්දුවේ විශාල වෙනසක් සිදු කරනු ඇතැයි පාපන්දු සම්මේලනය බලාපොරොත්තු වන අතර ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් එළඹෙන බදාදා (18) පැවැත්වීමට නියමිතයි.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<