පාකිස්තාන දක්ෂයෙකුට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

231

පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Shaheen Afridi හට ශ්‍රී ලංකාවට එරෙහිව ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය අහිමි වන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර සිටිනවා.

ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේ දී දකුණු පාදයේ දන හිස ආශ්‍රිත ආබාධයකට ඔහු ලක් වුනා. කෙසේ නමුත් එම තරග කඩුලු 4කින් ජයග්‍රහණය කරන්නට පාකිස්තානය සමත් වුනේ වාර්තා පොත් අලුත් කරමින් වීම විශේෂත්වයක්.

“ඔහු ටෙස්ට් කණ්ඩායම සමඟ ශ්‍රී ලංකාවේ දී රැඳී සිටිවී, ඒ අතරතුර ඔහුගේ ආබාධය සුව කිරීම සඳහා අවැසි මූලික ප්‍රතිකාර සහ පුනරුත්තාපන කටයුතු කණ්ඩායමේ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් කරගෙන යාවි”, යනුවෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට Afridi සමත් වුනේ ලකුණු 58ක දී කඩුලු 4ක් දවා ගනිමින් ප්‍රතිවාදීන් ලකුණු 222කට සීමා කරන්නට දායක වෙමිනුයි. කෙසේ නමුත් Afridi සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සංධිස්ථානයක් පසු කිරීමට ආසන්නව සිටින්නේ ටෙස්ට් කඩුලු ශතකයට තවත් එක් කඩුල්ලක් මෙපිටින් සිටිමිනුයි.

මේ අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධයකට ලක්වූ පිට දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ කණ්ඩායමෙන් ඉවත් කර ඔහු වෙනුවට ලක්ෂිත මනසිංහ කණ්ඩායමට ඇතුළත් කිරීමට මෙරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

පාකිස්තානය මේ වන විට 1-0ක් ලෙස ටෙස්ට් තරගාවලියේ පෙරමුණ ගෙන සිටින අතර දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 24 වැනිදා ගාල්ලේ දී ම ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<