1979 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දස්කම්

381

1975 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලිය සාර්ථකව නිමාකර වසර 4ක් ගෙවුණු පසුව නැවතත් ලෝක කුසලාන තරගාවලිය එංගලන්තයේදී ම පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කළ අතර එයට නැවතත් “Prudential සමාගම” විසින් අනුග්‍රහය දැක්වූ නිසා එය “දෙවන Prudential ලෝක කුසලාන තරගාවලිය” ලෙස නම් කරන ලදී.

ලෝක කුසලාන ජයග්‍රහණයේ ‘අදිසි හස්තය’ වූ ආනා පුංචිහේවා

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමුවැන්නේ සිටම එහි කොටස්කරුවන් ……….

1975 තරගාවලියේදී මෙන්ම මෙවර තරගාවලියේදී ද අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය හිමිවූ රටවල් ලෙසින් එංගලන්තය, ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය, නවසීලන්තය සහ ඉන්දියාව තරග බිමට පිවිසෙන විට 1979 වසරේ පැවති ICC කුසලාන තරගාවලියේ ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම සහ අනුශූරතාවය දිනාගත් කැනඩා කණ්ඩායම මෙම තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීය.

1979 ICC කුසලාන තරගාවලිය

තරගාවලිය සඳහා සහභාගි වූ කණ්ඩායම් – gettyimages

1979 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙස පැවති මෙම තරගාවලිය සඳහා එවකට ටෙස්ට් වරම් නොලද කණ්ඩායම් 15ක් සහභාගී විය. C කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකාව එහිදී ඇමරිකාව සහ නෙදර්ලන්තය යන කණ්ඩායම් වලට එරෙහිව ජයග්‍රහණ ලබාගන්නා විට වේල්සය සමඟ තරගය වැස්සට සේදී ගියේය. තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ඊශ්‍රායලයට එරෙහිව පැවතියද එවකට ඊශ්‍රායලය සමඟ පැවති දේශපාලන අර්බුද නිසා ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට සහභාගී නොවීය.

තරගාවලිය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම – gettyimages

මූලික වටය අවසානයේදී කාණ්ඩයේ පෙරමුණ ගත් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව තරගයේදී ඩෙන්මාර්කය ලකුණු 208කින් සහ අවසන් තරගයේදී කැනඩාව ලකුණු 60කින් පරාජය කරමින් මුල්ම වරට පැවති ICC කුසලාන තරගාවලිය ජයග්‍රහණය කළහ. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ දුලිප් මෙන්ඩිස් ලකුණු 221ක් ලබාගනිමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

1979 ලෝක කුසලාන තරගාවලියේදී නැවතත් ශ්‍රී ලංකාවට කොදෙව්වන් මුණ ගැසෙයි

1979 ලෝක කුසලාන තරගාවලියේදී A කාණ්ඩය යටතේ ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවරද ලෝක ශූර කොදෙව් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට සිදුවිය. නමුත් ඔවුන්ට මෙම තරගාවලියේ මුණගැසුණු ඉතිරි කණ්ඩායම් 2ක ඉන්දියාව සහ නවසීලන්තය වීම යම් අස්වැසිල්ලක් වුවද එම කණ්ඩායම් දෙක සමඟද එම අවදියේ තරග වැදීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය.

තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම

අනුර තෙන්නකෝන්ගේ නායකත්වය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකත්වය බන්දුල වර්ණපුරට හිමිවිය. පිතිකරුවන් ලෙසින් දුලිප් මෙන්ඩිස්, රෝයි ඩයස්, සුනිල් වෙත්තමුණි සහ රංජන් මඩුගල්ල කණ්ඩායමට එක්වන විට සුනිල් ජයසිංහ කඩුලු රකින්නා ලෙස කටයුතු කළේය. උප නායක වර්ණපුරට අමතරව එවකට 17 හැවිරිදි වියේ පසුවූ සුදත් පැස්කුවල් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට සවියක් වනවිට සෝමචන්ද්‍ර ද සිල්වා, අජිත් ද සිල්වා, ටෝනි ඕපාත, ස්ටැන්ලි ද සිල්වා සහ රංජන් ගුණතිලක ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය ශක්තිමත් කළහ.

1996 විල්ස් ලෝක කුසලාන ජයග්‍රහණය

1996 විල්ස් ලෝක කුසලාන ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ලද මිහිරිතම…….

පළමු තරගයේදී නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට දරුණු පරාජයක්

තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් පළමු තරගය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව නොටිංහැම් නුවර ට්‍රෙන්ට්බ්‍රිජ් පිටියේදී පැවැත්විණි. තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක මාක් බර්ජස් වේගපන්දු යවන්නන්ට හිතකර වූ ට්‍රෙන්ට් බ්‍රිජ් තණතීරුවේ මුලින්ම පන්දු යැවීමට තීරණය කළේය.

වේග පන්දු යවන්නන් පස් දෙනෙකු  සමඟ නවසීලන්තයට එරෙහි තරගයට අවතීර්ණ වී තිබූ නිසාම ශ්‍රී ලංකා පිතිකරුවන් මුල සිටම සීරුවෙන් පන්දුවට පහරදෙන ආකාරය දැකගත හැකිවිය. නමුත් ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ ලකුණු 57 සටහන් වනවිට ආරම්භක පිතිකරු යුගලය වූ වර්ණපුර සහ වෙත්තමුණි පිළිවෙලින් ලකුණු 20කට සහ 16කට දැවීගොස් තිබුණි. එම අවස්ථාවේ නායක තෙන්නකෝන් සමඟ පිටියේ එක්වූ රෝයි ඩයස් අගනා ලකුණු 50ක සබඳතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම 107/2 ලෙස ස්ථාවර තත්වයකට පත්කළද මංගල එක්දින තරගයට ක්‍රීඩාකළ ලෙස්ලි ස්ටොට් විසින් රෝයි ඩයස්ව ලකුණු 25කට දවාගැනීමත් සමඟම ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩා වැටීම ආරම්භ විය.

එදා නායක තෙන්නකෝන් පමණක් ලකුණු 59ක් ලබාගනිමින් හුදෙකලා ඉනිමක් ක්‍රීඩාකළද ඔහුගේ සහයට පිතිකරුවෙකු නොසිටීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 56.5කදී සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 189ක් පමණි.

අනුර තෙන්නකෝන් පන්දුවට පහරදෙමින් – gettyimages

එහිදී නවසීලන්තය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වුණු බ්‍රයන් මැකේනි ලකුණු 25කට කඩුලු 3ක් ලබාගන්නා විට මංගල එක්දින තරගය සඳහා ක්‍රීඩාකළ ලෙස්ලි ස්ටොට් ලකුණු 48කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

 

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්ත මුල්පෙළ පිතිකරුවන් මුල සිටම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව පහසුවෙන් ලකුණු ලබාගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස ලකුණු 64දී පළමු කඩුල්ල ලෙස ජෝන් රයිට් ලකුණු 34කට දැවී ගියේය. පසුව ග්ලෙන් ටර්නර් සහ ජෙෆ් හවර්ත් එක්ව නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ පන්දුවාර 47.4කදීය.

ග්ලේන් ටර්නර් පන්දුවට පහරදෙමින්  – gettyimages

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩාකළ ආරම්භක පිතිකරු ග්ලෙන් ටර්නර් පන්දු 143කින් නොදැවී ලකුණු 83ක් රැස්කරන විට ඔහුට වඩා වේගයෙන් ලකුණු රැස් කරමින් පන්දු 83කින් නොදැවී ලකුණු 63ක් ලබාගත් ජෙෆ් හවර්ත් තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබීය.

ජෙෆ් හවර්ත් පන්දුවට පහරදෙමින්- gettyimages

කොදෙව්-ශ්‍රී ලංකා තරගය වර්ෂාවට සේදී යයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කෙනිංටන් ඕවල් පිටියේදී පැවති තරගය වර්ෂාවට සේදී යාම ශ්‍රී ලංකා කණ්ඩායමට අස්වැසිල්ලක් වුවත් ප්‍රබල කොදෙව් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාකර අත්දැකීම් රැසක් ලබාගැනීමට තිබුණු අවස්ථාව අහිමි විය.

ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලකුණු 47ක පෙරළිකාර ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්  වෙයි

මැන්චෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක වෙන්කතරාගවන් මුලින්ම පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය. මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක අනුර තෙන්නකෝන් සහභාගී නොවීම නිසා උප නායක බන්දුල වර්ණපුරට කණ්ඩායමේ නායකත්වය හිමිවිය.

අනුර තෙන්නකෝන් නොමැතිවීම ශ්‍රී ලංකා කණ්ඩායමට බලවත් පාඩුවක් වුවත් ඔහුගේ අඩුව පිරවූ සුනිල් වෙත්තමුණි සහ රෝයි ඩයස් දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ අගනා ලකුණු 96ක සබඳතාවය නිසා ශ්‍රී ලංකා ඉනිම එක් අවස්ථාවක 127/1 ලෙස ප්‍රබල තත්වයක පසුවිය.

සුනිල් වෙත්තමුණි- gettyimages

නමුත් එම අවස්ථාවේදී කපිල් දේව් විසින් වෙත්තමුණිව ලකුණු 67කටත් මොහින්දර් අමර්නාත් විසින් රෝයි ඩයස්ව ලකුණු 50කටත් දවාගැනීම නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 147/3 බවට පත්වුවද ඉන් නොසැලුණු දුලිප් මෙන්ඩිස් අගනා හයේ පහර 3ක්ද සමඟින් පන්දු 57කදී ලබාගත් වේගවත් ලකුණු 64 නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 60 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 238ක් ලබාගැනීමට හැකිවිය.

රෝයි ඩයස්- gettyimages

එහිදී මොහින්දර් අමර්නාත් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 40කට කඩුලු 3ක් ලබාගත්තද සෙසු පන්දු යවන්නන්ට ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් කිසිඳු සමාවක් නොලැබුණි.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම එක් අවස්ථාවක කඩුලු 2ක් දැවී ලකුණු 119ක් ලබා සිටියහ. ඒ වනවිට සෙමෙන් ලකුණු රැස් කරමින් සිටි ඔවුන්ට ජයග්‍රහණය සඳහා වැඩි වේගයකින් ලකුණු ලබා ගැනීමට සිදුවිය. එහිදී ඉන්දීය පිතිකරුවන් දැඩි පීඩනයකට ලක්වුණු නිසාම ගුන්දප්පා විශ්වනාත් දුවද්දී දැවීයාමකට හසුවිය. ඒත් සමඟම ඉන්දීය ඉනිමේ දෙදරා යාම ආරම්භ වූ අතර සෝමචන්ද්‍ර ද සිල්වාගේ පන්දු හමුවේ බ්‍රිජේෂ් පටෙල් ලකුණු 10කට සහ දිලිප් වෙන්සාකර් ලකුණු 36කට දැවීයාම නිසා ඉන්දීය ලකුණු පුවරුව 147/5 බවට පත්විය.

එම අවස්ථාව වනවිට ශ්‍රී ලංකා නායක බන්දුල වර්ණපුර ඉතාමත් දක්ෂ අයුරින් සිය පන්දු යවන්නන් යොදා ගනිමින් ඉන්දීය කණ්ඩායමට ලබාදුන් පීඩනය නිසාම එදා කපිල් දේව්, මොහින්දර් අමර්නාත් වැනි පිතිකරුවන්ට ද ඉන්දීය පරාජය වැළැක්වීමට නොහැකි විය. එම නිසාම පන්දුවාර 54.1 කදී ඉන්දීය කණ්ඩායමේ සියලුම පිතිකරුවන් ලකුණු 191කට දැවීගිය අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සෝමචන්ද්‍ර ද සිල්වා සහ ටෝනි ඕපාත කඩුලු 3 බැගින් ලබාගත්හ.

සෝමචන්ද්‍ර ද සිල්වා – gettyimages

ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් මෙම ලකුණු 47ක ජයග්‍රහණය ලෝක කුසලාන ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයක් වන්නේ ටෙස්ට් වරම් නොලද රටක් හමුවේ ටෙස්ට් වරම් හිමිවූ රටක් පරාජය වුණු මුල්ම ලෝක කුසලාන තරගය ලෙස මෙය ඉතිහාසගත වීමයි. එහිදී ශ්‍රී ලංකා එක්දින ඉතිහාසයේ මුල්ම හයේ පහර එල්ල කරමින් ප්‍රවේගකාරී ලකුණු 64ක් ලබාගත් දුලිප් මෙන්ඩිස් තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබීය.

දුලිප් මෙන්ඩිස්- gettyimages

1975 ලෝක කුසලාන තරගාවලියට වඩා මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉහළ දස්කම් ප්‍රදර්ශනය කළේ ඉන්දීය කණ්ඩායම පවා පරාජය කරමිනි. එලෙස මෙම තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දස්කම් ලෝක ක්‍රිකට් ප්‍රජාවගේ විශේෂ අවධානයට ලක්වුණු අතර පසුකලෙක ටෙස්ට් වරම් ලැබීමට ද මෙම දස්කම් හේතුවක් විය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<