නිස්සංක නැවතත් සංචිතයට එද්දී තීක්ෂණ ඉවතට

පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

502

පසුගිය දා කොරෝනා වයිරසය ආසාදනය වීම නිසාවෙන් පාකිස්තානය සමඟින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අහිමි වූ පැතුම් නිස්සංක දෙවැනි ටෙස්ට් තරගය සඳහා කැඳවීමට තීරණය කර තිබෙනවා.

ඒ්, ඔහු කොරෝනා රෝගී තත්වයෙන් සුවය ලබා සිටින නිසාවෙනුයි. ඔහුට අමතරව, අතෙහි ඇඟිල්ලක ආබාධයකට ලක්වූ මහීෂ් තීක්ෂණ වෙනුවට පිට දඟපන්දු යවන ක්‍රීඩක ලක්ෂිත මනසිංහව සංචිතයට ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

පසුගිය දා නිමා වූ ශ්‍රි ලංකා – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ දී පළමු වරට ටෙස්ට් වරම් ලද තීක්ෂණ එම තරගාවලියේ දී අතෙහි ඇඟිල්ලක ආබාධයකට ලක්වීම නිසාවෙන් තරගාවලියෙන් ඉවත් වන්නට සිදු වුනා.

ඔහුගේ ආදේශක ක්‍රීඩකයා ලෙස පළමු වරට ජාතික කණ්ඩායමට කැඳවූ 22 හැවිරිදි මනසිංහ පළමු පෙළ තරග 17ක දී 26.38ක සාමාන්‍යයක් සමඟින් කඩුලු 71ක් දවා ගැනීමට සමත්ව තිබුණේ කඩුලු 5 අවස්ථා 6ක් ද සාර්ථක කර ගනිමිනුයි.

පාකිස්තානයට එරෙහිව පැවති තෙදින පුහුණු තරගයේ දී ඔහු ලකුණු 85කට කඩුලු 4ක් දවා ගන්නට සමත් වූ අතර ඕස්ට්‍රේලියා A කණ්ඩායමට එරෙහිව පැවති පුහුණු තරග දෙකේ දී ද කඩුලු 13ක් දවා ගනිමින් ජාත්‍යන්තර අවධානය තමන් දෙසට හරවා ගන්නට ද ඔහු සමත් වුනා.

තුන් ඉරියව් පන්දු යවන්නෙකුට අමතරව ඔහු පිතිකරුවෙකු ලෙස ද දක්ෂතා දක්වා ඇති අතර දේශීය තරග පිටිය තුල ඔහු අර්ධ ශතක 5ක් ද වාර්තා කරගෙන සිටිනවා.

දඟපන්දු යවන්නන්ට හිතකර ක්‍රීඩාංගණයක් වන ගාල්ලේ දී පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගයේ දී ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට නියමිත මනසිංහ තරගාවලිය සමව අවසන් කරන්නට අපේක්ෂාවෙන් පසුවනු නොඅනුමානයි.

කෙසේ නමුත් නිස්සංක සුවය ලබා සිටියත් ශාරීරික යෝග්‍යතාව සලකා බැලීමෙන් අනතුරුව දෙවැනි තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම සඳහා ඇතුළත් කර ගනු ඇති අතර ඔහුගේ ආදේශක ක්‍රීඩකයා ලෙස කණ්ඩායමට එකතු වූ ඕෂද ප්‍රනාන්දු ද සැලකිය යුතු දක්ෂතා දක්වමින් ලකුණු 35ක් සහ 64ක් පාකිස්තානයට එරෙහිව වාර්තා කරන්නට සමත් වුනා.

නිස්සංක සහ මනසිංහ දෙදෙනාම අද (21) කණ්ඩායම සමඟින් එකතු වීමට නියමිත අතර පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 24 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම ආරම්භ වීමට නියමිතයි.

පළමු තරගය කඩුලු 4කින් ජයග්‍රහණය කරමින් වාර්තා ගත ජයග්‍රහණයක් ලබා ගත් පාකිස්තානය 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ දිනා ගෙන සිටින අතර තරගාවලියේ සියලුම උණුසුම පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<