තරිඳුගේ විශිෂ්ට ශතකය අපතේ යමින් සාන්ත සෙබස්තියානුවන්ට තියුණු ජයක්

469

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ වේල්ස් කුමර විද්‍යාලය අතර පැවැත්වෙන මොරටු මහා රන් සංග්‍රාමයට සමගාමීව පැවති 37 වැනි සීමිත පන්දුවාර තරගය අද (29) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වුනේ සාන්ත සෙබස්තියානුවන් ලකුණු 16ක තියුණු ජයක් වාර්තා කරගනිමින්

තරගයේ කාසියේ වාසියේ වාසිය දිනා ගත් වේල්ස් කුමර නායක තරිඳු අමරසිංහ පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදී සාන්ත සෙබස්තියානු කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව ඔවුන්ගේ ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි නායක බිහඟ මෙන්ඩිස් සහ සවිඳු රොද්‍රිගුගේ සබඳතාවය ලකුණු 20කට සීමා වුනා. ඒ චෙනුල ප්‍රනාන්දු යොමු කළ පන්දුවක් හමුවේ ලකුණු 6ක් ලබා සිටි සවිඳු දැවී යාමත් සමඟයි.

කෙසේ නමුත් ඉන් අනතුරුව බිහඟ සමඟින් පිටියේ එක්වූ යෂාන් අවිශ්ක සෙමෙන් ඔවුන්ගේ ඉනිම ගොඩනඟමින් දෙවන කඩුල්ල සඳහා ලකුණු 61ක අගනා සබඳතාවයක් එක්කරන්නට සමත් වුනා.

එහි දී ඉතා හොඳ ඉනිමක් ක්‍රීඩා කළ නායක බිහඟ පන්දු 54කට මුහුණ දෙමින් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 42ක්. ඔෂාන් මනේෂ යොමු කළ පන්දුවක් හමුවේ විදත් දිනේන්ද්‍ර වෙත උඩපන්දුවක් ලබා දෙමින් සවිඳු දැවී යාමත් සමඟ එම සබඳතාවය අවසන් වුනා.

අනතුරුව පිටියට පැමිණි මහේන් සිල්වා වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය ඉහළට ගන්නට උත්සාහ දැරුවත්, ඔහුගේ ඉනිම ලකුණු 22කට සීමා වුනා. එහි දී ඔහුගේ කඩුල්ල දවා ගනු ලැබුවේ ප්‍රින්ස් ප්‍රනාන්දු විසිනුයි.

සාන්ත සෙබස්තියානු ලකුණු පුවරුව ලකුණු 119 සීමාව වෙත ළඟා වූ විට යළිත් ක්‍රියාත්මක වූ ප්‍රින්ස් ඒ වන විට ලකුණු 33ක් ලබා ගනිමින් පිටියේ ස්ථාවර ව සිටි යෂාන්ගේ කඩුල්ල දවා ගත්තා.

අනතුරුව 34 වැනි පන්දුවාරය යොමු කළ ලහිරු සඳරුවන් නිලාෂ් පෙරේරා ලකුණු 9කට දවා ගත්තේ සාන්ත සෙබස්තියානු ඉනිමේ කඩුලු 5ක් ලකුණු 135 වන විට දවා ගනිමින් ඔවුන් ව තරමක් අපහසු තත්වයකට පත්කරමින්.

කෙසේ නමුත් එහි දී සංදේෂ් ප්‍රනාන්දු සමඟින් පිටියේ එක්වූ කේසර මදුසංක ඔවුන්ගේ 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 73ක තීරණාත්මක සබඳතාවයක් එක්කරනු ලැබුවා. ඊයේ අවසන් වූ කණ්ඩායම් දෙක අතර මහා ක්‍රිකට් තරගයේ හොඳම පන්දු යවන්නා මෙන්ම තරගයේ වීරයා ලෙස ද සම්මාන දිනා ගත් සංදේෂ් මෙහි දී පිත්තෙන් දස්කම් දැක්වූයේ පන්දු 69ක් තුළ තීරණාත්මක අර්ධ ශතකයක් වාර්තා කරගනිමින්.

ඉනිමේ 47 වැනි පන්දුවාරය වන විට සාන්ත සෙබස්තියානුවන් කඩුලු 5ක් දැවී ලකුණු 208ක් වාර්තා කරගෙන සිටි අතර ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා සිය කණ්ඩායමක ඔසවා දැමීමේ අරමුණින් පිතිකරුවන් විසින් වේගයෙන් ලකුණු රැස්කර ගැනීමට උත්සාහ දැරීමත් සමඟ ඔවුන්ගේ කඩුලු බිඳවැටෙන්නට වුනා.

ඒ අනුව සාන්ත සෙබස්තියානුවන් නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට සමත් වූයේ ලකුණු 227ක් පමණයි.

ලකුණු 228ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නායක තරිඳු සහ රිවිත් ජයසූරිය පළමු කඩුල්ල සඳහා අර්ධ ශතක සබඳතාවයක් එක්කරමින් ඔවුන්ට සාර්ථක ආරම්භයක් ලබා දෙන්නට සමත් වුනා.

කෙසේ නමුත් එහි දී ක්‍රියාත්මක වූ මහේන් විසින් ලකුණු 17ක් ලබා සිටි රිවිත්ව දවා ගත්තේ එම සබඳතාවේ නිමාව සටහන් කරමින්. ‘

අනතුරුව ඔවුන්ගේ දෙවැනි කඩුල්ල ලෙස ඔමේෂ් මෙන්ඩිස් 11කට දවා ගන්නට යෂාන් සමත් වූයේ වේල්ස් කුමර ලකුණු පුවරුව ලකුණු 73ක් ලෙස දිස්වන විටයි.

ඒත් සමඟ එහි දී තරිඳු සමඟින් එක්වූ අෂේන් ශානක ඔවුන්ගේ 3 වැනි කඩුල්ල සඳහා ලකුණු 51ක සබඳතාවයක් එක්කළේ වේල්ස් කුමර ඉනිම ඉතා ස්ථාවර තත්වයකට ඔසවා තබමින්. එහි දී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ තරිඳු ඔහුගේ අර්ධ ශතකයට ද ළඟා වන්නට සමත් වුනා. කෙසේ නමුත් 28 වැනි පන්දුවාරය යොමු කළ රයන් දිසානායක විසින් අෂේන්ව ලකුණු 29කට යළිත් ක්‍රීඩාගාරය බලා හරවා යවමින් එම සබඳතාවට තිත තබන්නට සමත් වුනා.

අනතුරුව පිටියට පිවිසි ඔෂාන් ලකුණු 17ක් වාර්තා කරමින් තරිඳුට සහයෝගය දක්වන්නට වුනත්, ශෙනිත් ප්‍රනාන්දු විසින් ඔහුගේ කඩුල්ල දවා ගැනීමත් සමඟ සාන්ත සෙබස්තියානුවන් යළිත් තරගයට අවතීර්ණ වන්නට වුනා. වේල්ස් කුමර ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස ඔහු දැවී යන විට ඔවුන් වාර්තා කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 158ක්.

එතැන් පටන් වේල්ස් කුමර ඉනිමේ කඩාවැටීම ආරම්භ වන්නට වූ අතර ඉදිරි පන්දුවාර 6 තුළ ඔවුන්ගේ තවත් කඩුලු 3ක් බිඳ වැටෙන්නට වූයේ ඔවුන්ව ඉතාමත් අසීරු තත්වයකට ඇදදමමින්.

චෙනුල, සුමල්ක ප්‍රනාන්දු සහ උනෙත් පීරිස් එසේ අඩු ලකුණු සංඛ්‍යාවලට දැවී යන්නට වුනා. ඒ අනුව එහි දී ඔවුන්ගේ ලකුණු පුවරුව දැක්වෙන්නට වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 174ක් ලෙසයි.

වේල්ස් කුමරුවන් හට තරගය ජයග්‍රහණය කිරීම සඳහා තීරණාත්මක සබඳතාවක් අවශ්‍ය වී තිබූ මොහොතක නායක තරිඳු සමඟින් පිටියේ එක්වූ උපනායක විදත් දිලේන්ද්‍ර 8 වැනි කඩුල්ල සඳහා හොඳ සබඳතාවක් එක්කළේ ඔවුන්ට යළිත් ජයග්‍රහණයේ බලාපොරොත්තු සමීප කරමින්.

කෙසේ නමුත් ප්‍රතිවාදී දඟපන්දු යවන ක්‍රීඩක මහේන් විසින් වේල්ස් කුමර ලකුණු පුවරුව 206ක් ලෙස දිස්වන විට විදත්ගේ කඩුල්ල ලකුණු 14කට දවා ගත්තේ තරගයේ පාලනය යළිත් සාන්ත සෙබස්තියානුවන් දෙසට යොමුකර ගනිමින්.

අනතුරුව පිටියට පිවිසි ලහිරු කිසිදු ලකුණක් ලබාගන්නට පෙර දැවී යන්නට වුනේ යෂාන් යොමු කළ පන්දුවක් හමුවේයි. ඒ අනුව වේල්ස් කුමරුවන් හට තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට නම් අවසාන පන්දුවාර 3 තුළ එක් කඩුල්ලක් පමණක් අතැතිව ලකුණු 21ක් අවශ්‍යව තිබුණි.

ඒ වන විට අනෙක් අන්තයේ හුදකලා ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි ආරම්භ පිතිකරු නායක තරිඳු රැස්කළ සිටි ලකුණු සංඛ්‍යාව 99ක්. 48 වැනි පන්දුවාරය යොමු කිරීමේ වගකීම විරෝෂ් විජේසිංහ වෙත පැවරුණු අතර ඔහු යොමු කළ දෙවැනි පන්දුවට ‘cut’ පහරක් එල්ල කරමින් ලකුණු 2ක් ලබා ගත් තරිඳු සිය ශතකය කරා ළඟා වූයේ ඉතා විශිෂ්ට ඉනිමක් සනිටුහන් කරගනිමින්.

කෙසේ නමුත් මේ වන විට ඔවුන්ට තරගය ජයග්‍රහණය කිරීමට නම් වේගයෙන් ලකුණු රැස්කිරීම අත්‍යාවශ්‍ය වන්නට වුනා. ඒ අනුව විරෝෂ් එම පන්දුවාරයේ යොමු කළ සිව්වැනි පන්දුවට තරිඳු ‘sweep’ පහරක් එල්ල කරමින් ලකුණු 4ක් වාර්තා කරගන්නට උත්සාහ දරුවත් එහි දී පන්දුව ඉහළින් ‘short fine-leg’ කලාපයේ රැඳී සිටි උපනායක ක්‍රිෂේන් පෙරේරා වෙත ඇදී යන්නට වූ අතර ඔහු එය සාර්ථකව රැකගන්නට සමත් වුනේ තරිඳුගේ අගනා ඉනිම අවසන් කරමින් සාන්ත සෙබස්තියානුවන් හට මෙම තරගයෙන් ඉතා තියුණු ජයග්‍රහණයක් හිමිකර දෙමින්.

ඒ අනුව වේල්ස් කුමර ඉනිම සියලු දෙනා දැවී ලකුණු 211කට සීමා වුනේ ප්‍රතිවාදී සාන්ත සෙබස්තියානුවන් ලකුණු 16ක ජයග්‍රහණයක් වාර්තා කරගනිමින්.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් වේල්ස් කුමරුවන් හට තරගයේ ජයග්‍රහණය හිමිකර දීමට හැකි සෑම උත්සාහයක් ම දැරූ තරිඳු අමරසිංහ ඔහුගේ සුවිශිෂ්ට ශතකය වෙනුවෙන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය: 227/10 (පන්දුවාර 50) – සංදේෂ් 50, බිහඟ 42, යෂාන් අවිශ්ක 33, රිවිත් ජයසූරිය 2/29, චෙනුල ප්‍රනාන්දු 2/37, ප්‍රින්ස් ප්‍රනාන්දු 2/39,
  • වේල්ස් කුමර විද්‍යාලය: 211/10 (පන්දුවාර 47.4) – තරිඳු අමරසිංහ 103, අෂේන් ශානක 29, මහේන් සිල්වා 3/32, යෂාන් අවිශ්ක 3/40

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<