ඉන්දීය යොවුන් කණ්ඩායමට කොරෝනා බියක්

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

508

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන 2022 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ඉන්දීය යොවුන් කණ්ඩායමේ ක්‍රීඩකයින් 6 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙනවා.

එම ක්‍රීඩකයින් අතර නායක Yash Dhull හා උපනායක Shaik Rasheed, Aaradhya Yadav, Vasu Vats, Manav Parakh සහ Siddarth Yadav සිටින බව ඉන්දීය ක්‍රිකට් ආයතනය වාර්තා කර සිටිනවා.

ඉන්දීය යොවුන් කණ්ඩායම මේ වන විට මෙවර තරගාවලියේ තරග දෙකකට සහභාගී වී එම තරග දෙකම ජයග්‍රහණය කර තිබෙනවා. මූලික වටය අවසන් කිරීමට පෙර ඔවුන්ට තවත් තරගයක් ක්‍රීඩා කිරීමට ඉතිරිව තිබෙන අතර මේ මස 22 වැනිදා උගන්ඩාව සමඟ එම තරගය පැවැත්වීමට නියමිතයි.

කොරෝනා වයිරසය ආසාදනය වූ ක්‍රීඩකයින් සහ සැක සහිත ක්‍රීඩකයින් 6 දෙනා මේ වන විට හුදකලා කර ඇති බැවින් නිසි කණ්ඩායමක් සකස් කර ගැනීමේ අර්බුදයකට ද ඉන්දියාව මුහුණ දී සිටින බව වාර්තා වෙනවා.

ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ඉන්දීය යොවුන් සංචිතයට ඇතුළත් සමස්ත ක්‍රීඩකයින් ගණන 17ක් වන අතර ඒ අනුව ඊයේ (19) පැවති අයර්ලන්ත තරගය වෙනුවෙන් තෝරා ගැනීමට ඉතිරිව සිටියේ ක්‍රීඩකයින් 11 දෙනෙකු පමණයි.

කෙසේ නමුත් Nishant Sindhuගේ නායකත්වය යටතේ එම තරගය ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම අයර්ලන්තය ලකුණු 174කින් පරාජය කරමින් B කණ්ඩායමේ පෙරමුණ දිනාගෙන සිටින්නේ අපරාජිතව සිටිමින් වන අතර ඔවුන්ට ඉදිරි වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට පැහැදිලි අවස්ථාවක් තිබෙනවා.

Rishit Reddy, Uday Saharan, Ansh Gosai, Amrit Raj Upadhyay සහ PM Singh යන ක්‍රීඩකයින් මේ ඉන්දීය යොවුන් සංචිතයේ අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කිරීමට ඉන්දීය ක්‍රිකට් පරිපාලනය තීරණය කර නමුත් ඔවුන් කණ්ඩායම සමඟ තවමත් එක්වී නැහැ.

එම තරගයේ දී ක්‍රීඩකයින්ට සිසිල් බීම රැගෙන යාමේ කටයුතු සඳහා ක්‍රීඩකයින් වෙනුවට පුහුණුකරුවන්ව යෙදවීමට කණ්ඩායමේ කළමනාකාරිත්වයට සිදුව තිබෙනවා. මේ හේතු කාරනා නිසා ඉදිරියේ දී මේ ලෝක කුසලාන තරග කාලසටහනේ යම් වෙනසක් සිදු කිරීමට අවස්ථාවක් තිබෙන බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසා සිටිනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<