තවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකයෙකුට කොරෝනා

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

923

එංගලන්ත තරග සංචාරයට එක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කාර්යය සාධන දත්ත විශ්ලේෂක (Data Analyst) G. T. නිරෝෂන් මහතා හට COVID-19 ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටිනවා. 

ඒ අනුව ඔහුව ද අදාළ ප්‍රතිකාර සඳහා යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ බව අනාවරණය වී තිබෙන්නේ අද (9) සිදු කළ PCR පරීක්ෂණ වලිනි. 

එසේම ඊයේ (8)  දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වන Grant Flower මහතා හට ද වයිරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබුණා.

කෙසේ වෙතත්, කණ්ඩායමේ ක්‍රීඩකයින්ට COVID-19 ආසාදනය වී නොමැති බවට, මෙතෙක් සිදු කළ PCR පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

වාර්තා වන ආකාරයට එංගලන්ත සංචාරයට එක් වූ සියලු ක්‍රීඩකයින් ලබන 12 වැනිදා පමණ වන තුරු නිරෝධායනයට ලක් කර ඇති අතර ලබන ඉරිදා (11) දිනයේ දී සියලු සාමාජිකයින් යළි PCR පරීක්ෂණයකට මුහුණ දීමට නියමිතයි.

තවත් ක්‍රිකට් පුවත්:

එහි ප්‍රතිඵල අනුව ලබන 13 වැනිදා ඉන්දියාවට එරෙහිව ආරම්භ වන එක්දින තරගාවලිය සඳහා අදාළ ක්‍රීඩකයින්ගේ සහභාගීත්වය තීරණය වනු ඇත. එම ක්‍රීඩකයින්ට අදාළ තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත්, ඒ සඳහා ආදේශ කිරීම වෙනුවෙන් විකල්ප කණ්ඩායමක් මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සූදානම් කරමින් සිටින බව ද දැනගන්නට ලැබෙනවා.

එංගලන්ත තරග සංචාරයට එක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ඉන්දීය තරගාවලියට ක්‍රීඩා කිරීමට හැකි වුවහොත්, ඔවුන් මේ වන විට නිරෝධායනයට ලක් කර සිටින බැවින් එම ක්‍රීඩකයින්ට කිසිඳු පුහුණු සැසියක් නොමැතිව ඉන්දියාවට එරෙහි තරගාවලියට ක්‍රීඩා කිරීමට සිදු වනු ඇත.

පසුගිය ජූලි 4 වැනිදා නිමාව දුටු ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය අතරතුර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරක Phil Whitticase මහතා හට COVID-19 වයිරසය ආසාදනය වුනු බව ජුනි 27 වැනිදා තහවුරු වුනා.

තවද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් ජෛව ආරක්ෂිත බුබුලේ නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීමේ සිද්ධියක් ද පසුගිය 28 වැනිදා අලුයම වාර්තා වුනා.

ඊට අමතරව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකුට සහ කණ්ඩායම් කළමනාකාරිත්වයේ සිව්දෙනෙක් හට COVID-19 වයිරසය ආසාදනය වී තිබෙන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය පසුගිය 6 වැනිදා සවස තහවුරු කර සිටියා.

ශ්‍රී ලංකා – ඉන්දීය තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – ජූලි 13
  • දෙවැනි එක්දින තරගය – ජූලි 16
  • තුන්වැනි එක්දින තරගය – ජූලි 18
  • පළමු විස්සයි විස්ස තරගය – ජූලි 21
  • දෙවැනි විස්සයි විස්ස තරගය – ජූලි 23
  • තුන්වැනි විස්සයි විස්ස තරගය – ජූලි 25

තරග සියල්ලම කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර එක්දින තරග තුන දිවා/රාත්‍රි තරග ලෙසත් (පස්වරු 2.30 සිට), විස්සයි විස්ස තරග රාත්‍රි තරග (පස්වරු 7 සිට) ලෙසත් පැවැත්වෙනවා.

තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<