පොඩි අඩියෙන් ලොකු පිම්මක් පැන්න ඉන්දීය වේගපන්දු යවන්නා

292

ඉන්දීය වේගපන්දු බලඇණිය සවිබල ගන්වන ප්‍රධාන පුරුකක් ලෙස හඳුන්වා දිය හැකි සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක බුවනේෂ්වර් කුමාර්ගේ නාමය මෙම වසර සඳහා ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කර ඇති මධ්‍යම ගිවිසුම්ගත ක්‍රීඩක ලැයිස්තුවේ ඉහළින්ම කියැවෙන්නේ ඔහුගේ වාර්ෂික ආදායම ඉන්දීය රුපියල් කෝටි 5ක මුදලක් අභිබවා යමිනි. 

ඛේටය තහනම් කිරීමෙන් ඉන්දීය වේගපන්දු යවන්නන්ට ප්‍රශ්න ගොඩක්

මේ අතර පසුගිය දිනක බුවනේෂ්වර් ඔහුගේ පෞද්ගලික twitter ගිණුම ඔස්සේ තම රසික රසිකාවියන් සමඟ සම්බන්ධ වෙමින් ඔවුන් සමඟ සුහද කතාබහක නිරත විය. ක්‍රිකට් ක්‍රීඩාකර ඉතාමත් වෙහෙස මහන්සි වී උපයා ගත් පළමු පඩියෙන් සිදුකළ දෑ මොනවා දැයි සහභාගී වූ පිරිසගෙන් අයෙකු ඇසූ පැනයට ඔහු පිළිතුරු ලබා දුන්නේ ඉතාමත් සිනහමුසු මුහුණෙනි. 

“මට අද වගේ මතකයි මගේ පළවෙනි පඩි පතේ වටිනාකම හරියටම රු. 3000යි. මම ඒකෙන් කළේ හොඳට සාප්පු සවාරි ගිය එක. හැබැයි මට පුළුවන් වුනා ඒ ගාණෙනුත්  යම් මුදලක් ඉතිරි කරගන්න.” 

එදාමෙදා තුර ක්‍රිකට් ලොව බිහි වූ විශිෂ්ටතම පිතිකරුවා ලෙස සැලකෙන සචින් ටෙන්ඩුල්කාර් රන්ජි කුසලාන ඉතිහාසයේ පළමු වරට ලකුණු නොලබාම ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට බුවනේෂ්වර් කුමාර් සමත් විය. ඔහු 2012 වසරේ දී තම මංගල ජාත්‍යන්තර ක්‍රිකට් තරගය පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කරමින් සමස්ත ක්‍රිකට් ප්‍රජාවගේම අවධානය දිනා ගැනීමට සමත් වූයේ කඩුලු තුනක් බිඳ හෙළමිනි. 

“උකුසු ඇසෙන් නියම ප්‍රයෝජනය ගන්න” – ටෙන්ඩුල්කාර්ගෙන් විවේචනයක්

2013 වර්ෂයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වූ තුන්කොන් එක්දින තරගාවලියේ දී ලකුණු 8කට කඩුලු 4ක් බිඳ දමමින් කැපී පෙනෙන දස්කම් පෑ බුවනේෂ්වර් කුමාර් තරගාවලියේ වීරයා සම්මානය ද තමන් සතුකර ගත්තේ තරග 4ක දී ප්‍රතිවාදී පිතිකරුවන් අවස්ථා 10ක දී ඔහුගේ ගොදුරු බවට පත්කර ගනිමිනි. එතැනින් අවසන් නොවූ බුවනේෂ්වර්ගේ ගමන් මඟෙහි 2013 වසරේ පැවති ශූරයින්ගේ කුසලානයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පරිවර්තනය වන්නේ තරගාවලිය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා වීමේ ගෞරවය ද ඔහු සතුකර ගනිමිනි. 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ 2019 වසර අවසානයේ පැවති විස්සයි විස්ස තරගාවලියෙන් අනතුරුව මේ දක්වා ඉන්දීය කණ්ඩායම නියෝජනය කරමින් කිසිඳු ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වීමේ අවස්ථාව බුවනේෂ්වර් කුමාර් හට අහිමි වී ගියේ එම තරග සංචාරය අතරතුර දී කළවා ප්‍රදේශයේ හටගත් ආබාධ තත්වයක් නිසාවෙනි. පාදයේ ඇති වූ ආබාධයක් නිසාවෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දීද අපේක්ෂා කළ අයුරින් ඔහුගේ උපරිම දායකත්වය කණ්ඩායම වෙත ලබා දීමට නොහැකි විය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<