වැස්සේ පිහිටෙන් ශ්‍රී ලංකාව පියවර දෙකක් උඩට පනියි

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2021

1187
Getty Images

සංචාරක ශ්‍රී ලංකාව සහ සත්කාරක එංගලන්තය අතර අද (4) බ්‍රිස්ටල් හිදී පැවැත්වුණු තෙවැනි සහ අවසන් එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා එම තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් වුනා.

ඒ නිසාවෙන් ICC එක්දින සුපර් ලීගයේ 13 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාවට තවත් ප්‍රසාද ලකුණු 5ක් දිනාගෙන ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන දෙකක් ඉදිරියට පැමිණීමට හැකි වුනා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයට අවතීර්ණ වුනේ එක් වෙනස්කමක් සිදු කරමිනි.

ඒ අනුව චරිත් අසලංක වෙනුවට ඕෂද ප්‍රනාන්දු අද තරගය ක්‍රීඩා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබුණු අතර පළමු තරගයේ වීරයා වුනු Chris Woakes ද මේ තරගයට ක්‍රීඩා කළා. ඒ දෙවැනි තරගයට ක්‍රීඩා කළ Mark Wood වෙනුවෙන් කණ්ඩායමට ආදේශ වෙමිනි.

තවත් ක්‍රිකට් පුවත්:

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ලෙස සුපුරුදු ලෙස පිටියට පැමිණි අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් පෙරේරා ඇතුළු ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන්ගේ කඩුලු 4ක් පළමු පන්දුවාර 10 තුල දවා ගැනීමට Chris Woakes සහ David Willey ඇතුළු එංගලන්ත වේගපන්දු යවන්නන් සමත් වුනා.

එහි දී අවිශ්ක ප්‍රනාන්දු දෙවැනි එක්දින තරගයේ දැවී ගිය ආකාරයට සමාන ආකාරයෙන්ම මේ තරගයේ දී ද දැවී ගියේ මැද ඉන්න කෙළින් පතිත වී ඇතුළට දෝලනය වන පන්දුවට නිසියාකාරව පිත්ත රැගෙන ඒමට නොහැකි වුනු නිසා කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුව ලකුණු 14ක් ලබාගෙන සිටිය දී දැවී ගියා.

පළමු පන්දුවාර 10ට හිමි Powerplay අවස්ථාව අවසානයේ දී ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 45ක් ලබාගෙන සිටි අතර දෙවැනි තරගයේ දී ශ්‍රී ලංකා ඉනිම සවිමත් කරමින් පිතිකරණයේ නිරත වුනු ධනංජය ද සිල්වා හට අද දිනයේ දී සාර්ථක වීමට Chris Woakes අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.

ඒ නිසාවෙන් ශ්‍රී ලංකා ලකුණු සටහන සවිමත් වීම ගැන ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් තබා තිබූ බලාපොරොත්තු යම් මට්ටමකට සුන් වී ගියත් අංක 7 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දසුන් ශානක පසුපෙළ පිතිකරුවන් සමඟ එක්ව ප්‍රබල එංගලන්ත පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා ලකුණු සටහන ලකුණු 166ක් දක්වා රැගෙන ඒමට සමත් වුනා.

එහි දී ඕෂද ප්‍රනාන්දු සහ වනිඳු හසරංග පිළිවෙළින් ලකුණු 18ක් සහ ලකුණු 20ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා මැදපෙළ සවිමත් කළ නමුත් ඔවුන්ගේ දැවී යාම් සලකා බැලීමේ දී ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ තාක්ෂණික දුර්වලතාවයන් තිබෙන බව පෙනෙන්නට තිබුණා.

විශේෂයෙන් වනිඳු හසරංග හට මේ එක්දින තරගාවලිය පුරාවට කෙටි පන්දුව හමුවේ Pull පහර එල්ල කිරීමට නොහැකි බවක් පෙනුණු අතර ඒ සඳහා හොඳින් ගෙදර වැඩ සිදු කර තිබූ එංගලන්ත පන්දු යවන්නන් වනිඳුගේ කඩුල්ලක ඉතාමත් ඉක්මනින්ම ශ්‍රී ලංකාවට අහිමි කළා.

දෙවැනි එක්දින තරගයේ දී ලකුණු 47කට දැවී ගිය දසුන් ශානක හට එම තරගයේ දී ද අර්ධ ශතකයක් ලබා ගැනීමට අවස්ථාවක් නොලැබුණු අතර මේ තරගයේ දී ද ලකුණු 48*ක් ලබාගෙන සිටි ඔහුට සිය අර්ධ ශතකය සපුරා ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ශානකගේ එම ඉනිම සඳහා 4 පහර දෙකක් සහ 6 පහර දෙකක් ඇතුළත් වුනා.

මේ තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වුවත් එය ක්‍රමයෙන් පහව ගිය නිසා ශ්‍රී ලංකා ඉනිමේ අවසානය තෙක් තරගය පැවැත්වීමට හැකියාව ලැබුණා. නමුත් ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු 166ට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායමට එකඳු පන්දුවක් සඳහා හෝ මුහුණ දීමට නොහැකි ලෙස එම වර්ෂාව වැඩි වීම නිසාවෙන් තරගය ප්‍රතිඵලයකින් තොරව අවසන් කිරීමට විනිසුරුවරුන් තීරණය කළා. ඒ අනුව 2020–23 ICC සුපර් ලීගයේ ප්‍රතිඵලයක් රහිතව අවසන් වූ පළමු එක්දින තරගය වුනේ මෙයයි.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා ඉනිම සුන් කළ දැමූ Sam Curranගේ වැඩිමහල් සොහොයුරා වන Tom Curran ලකුණු 35කට කඩුලු 4ක් දවා ගන්නා විට, David Willey සහ Chris Woakes අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියා. Adil Rashid කඩුලු එකයි.

කෙසේ නමුත් දෙරට අතර පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට සමත් වුනේ එංගලන්ත කණ්ඩායමයි. ඔවුන් ප්‍රසාද ලකුණු 65ක් දිනා ගනිමින් 2020–23 ICC සුපර් ලීගයේ දැනට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටිනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<