40න් ඉහළ පාපන්දු අර්ධ අවසන් පූර්ව වටයේ තරග

149

ශ්‍රී ලංකා පාපන්දු මාස්ටර්ස් සංගමය (SLSMA) විසින් සංවිධානය කරනු ලබන තිලක් පීරිස් අභියෝගතා කුසලානය සඳහා වන වයස අවුරුදු 40න් ඉහළ පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග කොළඹ, කෑගල්ල සහ බදුල්ල කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට තීරණය කර ඇත.

තරග විනිසුරුවරුන් වැඩ වර්ජනයක?

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) විසින් තරග විනිසුරුවරුන් හට තරගවලට අදාළ තරග මුදල් ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පාපන්දු තරග විනිසුරුවරුන් …

කොළඹින් පිට ප්‍රදේශවල වෙසෙන ක්‍රීඩකයින් වෙත ද තරගාවලිය රැගෙන යාම උදෙසා කාණ්ඩ 08ක් යටතේ පැවති මෙවර තරගාවලියේ කාණ්ඩ 04ක් කොළඹින් පිට ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණු අතර ඉතිරි කාණ්ඩ 04 කොළඹ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විය. ඒ අනුව කොළඹින් පිට ප්‍රදේශ නියෝජනය කරමින් කණ්ඩායම් 19ක් හා කොළඹ නියෝජනය කරමින් කණ්ඩායම් 25ක් තරගාවලිය සඳහා සහභාගී විය. එහි දී තරගාවලියේ පළමු වටය ලීග් ක්‍රමය යටතේ පැවති අතර එහි දී අදාළ කාණ්ඩ වල පළමු ස්ථානය දිනාගත් කණ්ඩායම් 08 තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නට සමත් විය.

ශ්‍රී ලංකා පාපන්දු මාස්ටර්ස් සංගමයේ ආරම්භක සභාපතිවරයා වන තිලක් පීරිස් මහතාගේ ප්‍රධානත්වය යටතේ කටයුතු කරන කමිටුව, ක්‍රීඩා සමාජවලට ඇති වන මූල්‍යමය ගැටලු අවම කිරීමට එසේ තරගාවලිය කොළඹ සහ ඉන් පිටත ප්‍රදේශවල පැවැත්වීමට තීරණය කළ අතර ඒ අනුව අර්ධ අවසන් පූර්ව වටයේ තරග 2ක් ද කොළඹින් පිට ප්‍රදේශවල දී පැවැත්වෙනු ඇත.

කොළඹ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව වටයේ තරග කුරේ පාක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. එහි දී පළමු අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ‘Colombo Veterans’ සහ ‘Old Bens’ කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන අතර දෙවන අර්ධ අවසන් පූර්ව වටයේ තරගය පැවැත්වෙන්නේ ‘Maligawatte Veterans’ සහ Saunders Veterans’ යන කණ්ඩායම් දෙක අතරයි. මෙම තරග දෙකේ ජයග්‍රහණය හිමි කර ගන්නා කණ්ඩායම් දෙක පළමු අවසන් පූර්ව වටයේ තරගයේ දී එකිනෙකා සමඟ තරග වැදීමට නියමිත ය.

කොළඹින් පිට පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව වටයේ තරග යටතේ තෙවන අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ‘Badulla Veterans’ සහ ‘Negombo Westmasters’ කණ්ඩායම් අතර බදුල්ලේ දී පැවැත්වෙන අතර අවසන් අර්ධ අවසන් පූර්ව තරගය ‘Kegalle Veterans’ සහ Trinco Soccer Masters’කණ්ඩායම් අතර කෑගල්ලේ දී පැවැත්වේ. මෙම තරග දෙකේ ජයග්‍රාහී කණ්ඩායම් දෙක දෙවන අර්ධ අවසන් පූර්ව තරගයේ දී එකිනෙකා සමඟ තරග වදිනු ඇත.

අර්ධ අවසන් පූර්ව වටයේ දී තරග පවත්වනු ලැබූ කණ්ඩායම් දෙකම හෝ තරග සඳහා පිටින් පැමිණි කණ්ඩායම් දෙකම තරග ජයග්‍රහණය කළහොත් එම කණ්ඩායම් අතර පැවැත්වෙන අවසන් පූර්ව වටයේ තරගය පැවැත්වෙන ස්ථානය තීරණය කිරීම සඳහා කාසියේ වාසිය උරගා බැලීමක් සිදු කෙරේ. නමුත් අර්ධ අවසන් පූර්ව වටයේ දී තරග පවත්වනු ලැබූ කණ්ඩායමක් හා තරග සඳහා පිටින් පැමිණි කණ්ඩායමක් වශයෙන් කණ්ඩායම් ජයග්‍රහණය හිමි කර ගතහොත් එහි දී තරගය සඳහා පිටින් පැමිණි ජයග්‍රාහී කණ්ඩායමට එම කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන අවසන් පූර්ව වටයේ තරගය පැවැත්වීමේ අවස්ථාව හිමි වේ.

තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග මෙම මස 09 සහ 10 දෙදින පැවැත්වීමට නියමිතව ඇති අතර මෙම මස 16 හෝ 17 දින අවසන් මහා තරගය පැවැත්වීමට තීරණය කර ඇත. කෙසේ නමුත් අවසන් මහා තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය මෙතෙක් තීරණය කර නොමැත.

තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට තිලක් පීරිස් අභියෝගතා කුසලානය, පදක්කම් සහ රු. 100,000/=ක මුදලක් පිරිනැමෙන අතර අනුශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට ද කුසලානයක්, රිදී පදක්කම් සහ රු. 50,000/=ක මුදලක් පිරිනැමේ.

තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට සහ වටිනාම ගෝල රකින ක්‍රීඩකයාට පිළිවෙළින් ‘Golden Boot’ සහ ‘Golden Glove’ සම්මාන පිරිනැමෙන අතර ඊට අමතරව රු. 10,000/=ක මුදලක් ද පිරිනැමෙනු ඇත.

ශ්‍රී ලංකා පාපන්දු මාස්ටර්ස් සංගමය 1995 වසරේ දී තිලක් පීරිස් මහතා විසින් ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍ෂේත්‍රයට සුවිශාල මෙහෙයක් ඉටු කළ පරිණත පාපන්දු ක්‍රීඩකයින් හට සහාය වීමේ අරමුණින් පිහිටුවනු ලැබීය.

ඒ අනුව පසුගිය වසර 22ක කාලය පුරාවට ශ්‍රී ලංකා පාපන්දු මාස්ටර්ස් සංගමය, අවශ්‍යතා ඇති පාපන්දු ක්‍රීඩකයින්ට මෙන්ම ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට ද උදව් කිරීමේ දී සුවිශාල මෙහෙයක් සිදුකර ඇති අතර වෛද්‍ය සහය ලෙස පරිණත ක්‍රීඩකයින් 20 දෙනෙක් හට රු.10,000/= බැගින් ආධාර මුදලක් ලබා දීමට ද ඔවුන් කටයුතු කර ඇත.

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට