ICC තරගාවලි 11ක සත්කාරකත්වයට රටවල් 17ක් සටනට

1542

2023-2031 තරග කාලවකවානුව තුල තිබෙන ප්‍රධාන ICC පිරිමි ක්‍රිකට් තරගාවලි 11ක සත්කාරකත්වය ලබා ගැනීම සඳහා ICC සාමාජික රටවල් 17ක් ලංසු තැබීම වෙනුවෙන් ඉල්ලුම් කර තිබෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා.

ඒ තරගාවලි අතර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලි 2ක් සහ ලෝක කුසලාන විස්සයි විස්ස තරග 4ක්, ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලි 3ක් සහ ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලි 2ක් ඇතුළත් වෙනවා.

ඒ අනුව මේ තරගාවලි 11 තනි සත්කාරකත්වය හෝ සම සත්කාරකත්වය ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, බංග්ලාදේශය, සිම්බාබ්වේ, අයර්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මැලේසියාව, ස්කොට්ලන්තය, ඕමානය, ඇමරිකා එක්සත් ජනපදය, නැමීබියාව යන රටවල් ඉල්ලුම් කර තිබෙන බව ICC විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙනවා.

“ක්‍රිකට් ක්‍රීඩාවට ලොව පුරා බිලියනයකට අධික රසික සංඛ්‍යාවක් සිටින අතර ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රාදේශීය ප්‍රජාවන් සමඟ සමීපව කටයුතු කිරීමට මෙමඟින් විශාල අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේ වසරේ අග භාගයේ දී අපගේ ඉදිරි පිරිමි ක්‍රිකට් තරගාවලි වල සත්කාරක රටවල් පිලිබඳව ICC විසින් අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවා” යැයි ICC වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි Geoff Allardice මහතා පවසා සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

එසේම මෙම ලංසු තැබීමේ දී 2024 සිට 2031 වසර දක්වා වූ කාලසීමාවේ පැවැත්වීමට නියමිත විස්සයි-විස්ස ලෝක කුසලාන තරගාවලියක්, පන්දුවාර 50 පිරිමි ලෝක කුසලාන තරගාවලියක් සහ ශූරයින්ගේ කුසලානයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලංසු තබා තිබෙන අතර එහි ඇතැම් ලංසු තැබීම් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සාමාජික රටක් හෝ රටවල් කීපයක් සමඟ ඒකාබද්ධ ලංසුවක් ලෙස ඉදිරිපත් කර තිබෙනවා.

  • 2024-2031 වසර සඳහා වන ICC ප්‍රධාන පිරිමි ක්‍රිකට් තරගාවලි මෙසේයි,
  • 2024: විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය – කණ්ඩායම් 20, තරග 55යි
  • 2025: ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය – කණ්ඩායම් 8යි, තරග 15යි
  • 2025: ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය – කණ්ඩායම් 2යි, තරග 1යි.
  • 2026: විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය – කණ්ඩායම් 20, තරග 55යි
  • 2027: එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය – කණ්ඩායම් 14යි, තරග 54යි
  • 2027: ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය – කණ්ඩායම් 2යි, තරග 1යි.
  • 2028: විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය – කණ්ඩායම් 20, තරග 55යි
  • 2029: ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය – කණ්ඩායම් 8යි, තරග 15යි
  • 2030: විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය – කණ්ඩායම් 20, තරග 55යි
  • 2031: එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය – කණ්ඩායම් 14යි, තරග 54යි
  • 2031: ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය – කණ්ඩායම් 2යි, තරග 1යි.

තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<