භානුකට තහංචි දමා පුහුණුවීම්වලට කැඳවයි

2052

ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක වමත් පිතිකරුවෙක් වන භානුක රාජපක්ෂ හට වසරක අත්හිටවූ ක්‍රිකට් තහනමක් (suspended sentence of one-year ban) සහ ඇමරිකානු ඩොලර් 5,000ක දඩ මුදලක් නියම කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා හේතුව තිබෙන්නේ මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවලට එක්වෙමින් 2019/2020 ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් උල්ලංඝනය කළ බවට ඔහුට චෝදනා එල්ල වූ අතර, ඒ පිළිබඳව සිදු කෙරුණු විමර්ශනයකින් පසුව මේ අදාළ දඬුවම පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

මෙහි තිබෙන අත්හිටවූ ක්‍රිකට් තහනමක් යන්නෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීමට අදහස් කර තිබෙන්නේ, ඉදිරි වසර දෙකක කාලය සඳහා ඔහුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් සඳහා සලකා බලන නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තුව උල්ලංඝනය කරමින් යම් ආකාරයක වරදක් සිදුකළහොත්  ඔහුට වසරක ක්‍රිකට් තහනමක් පැනවීමට කටයුතු සිදු කරන බවයි.

තවත් ක්‍රිකට් පුවත්:

කෙසේ නමුත් එළඹෙන 13 වැනිදා ආරම්භ වන ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය සඳහා ඉලක්ක කරගනිමින් ක්‍රීඩකයින් 13 දෙනෙකු ජෛව ආරක්ෂිත බුබුලකට ඇතුළත් කරමින් පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කළ අතර එම ක්‍රීඩකයින් 13 දෙනා අතරට භානුක රාජපක්ෂ ද කැඳවා තිබෙනවා. ඒ අනුව ඔහු හෙට (6) එම ජෛව ආරක්ෂිත බුබුලට ඇතුළත් වීමට නියමිතයි.

භානුක රාජපක්ෂ දින 40ක් තුළ දී  සියලුම ආකාරයේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණවලින් නිල වශයෙන් සමත් වී තිබෙන අතර ඔහු සිය නිල සමාජ මාධ්‍ය වෙත සටහනක් එකතු කරමින් ඔහු සඳහන් කළේ skin fold 104 සිට 71.5 දක්වා අඩු කර ගනිමින් තමා එම පරීක්ෂණයෙන් සමත් වූ බවයි. එමෙන්ම කිලෝග්‍රෑම් 84 සිට කිලෝ ග්‍රෑම් 76.5 දක්වා තම දේහ බර ද අඩු කර ගත් බව භානුක එහි දී සඳහන් කර තිබුණා.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා වන කිලෝ මීටර් දෙකේ යෝග්‍යතා පරීක්ෂණය මිනිත්තු 8.35කින් නිමා කළ යුතු අතර මෙහි දී භානුක මිනිත්තු 8.33කින් එම යෝග්‍යතා පරීක්ෂණය අවසන් කර තිබෙනවා.

තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<