ශ්‍රී ලංකාවෙන් විශාල අභියෝගයක් බලාපොරොත්තු වනවා – සූර්යකුමාර්

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

362

ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින සහ විස්සයි විස්ස තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෝ සිය නිරෝධායන කාලසීමාව අවසන් කරමින් කොළඹ එස්. එස්. සී. පිටියේ සිය පුහුණුවීම්වල නිරතව සිටියි. 

ගෙවී ගිය දින කීපය ඇතුළත පුහුණුවීම්වලට අමතරව කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙපිළ බෙදී පුහුණු තරගයකට ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාවට එරෙහිව වන තරගාවලියට සඳහා පූර්ව අවධානය යොමු කර සිටියි.

ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුතු ඉන්දීය විස්සයි විස්ස සහ එක්දින කණ්ඩායමට ඇතුළත් සූර්යකුමාර් යාදව් පවසන පරිදි මෙම තරගාවලියේ දී ධනාත්මක ආකල්ප රැසක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් තමන් ඇතුළු කණ්ඩායම තරගාවලියට සූදානම් වෙමින් සිටින බවයි.

“ඇත්ත වශයෙන්ම කියනවා නම් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් මුළුමනින්ම තරගාවලිය පිළිබඳව අවධානය යොමු කරලා තියෙන්නේ” යැයි ඊයේ (06) පැවති මාධ්‍ය හමුවේ දී ඔහු පවසා සිටියා.

30 වැනි විය ගෙවා දමමින් සිටින ක්‍රීඩකයෙක් වුවත් යාදව් තවමත් ජාත්‍යන්තර මට්ටමට නවකයෙකි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන IPL තරගාවලියේ දී දක්වන ලද දක්ෂතා මත මෙම වසර මුල දී ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබා සිටින යාදව් විනෝදකාමීත්වයෙන් ද යුතු ධනාත්මක කරුණු රාශියක් බලාපොරොත්තුවෙන් මෙම තරගාවලියට අවතීර්ණව සිටියි.

තවත් ක්‍රිකට් පුවත්

විරාත් කෝලිගේ නායකත්වයෙන් යුතු ඉන්දීය ටෙස්ට් කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයට සහභාගි වීම සඳහා එංගලන්තයට ගිය අතර එම තරගය අවසානයේ තරග 5කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට එංගලන්තය සමඟ සහභාගි වනු ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලියට පෙර යාදව් එංගලන්තයට එරෙහිව මෙම වසර මුල දී පැවති තරගාවලියේ දී ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් දිනා ගැනීමට සමත් විය.

>>Photos – India tour of Sri Lanka 2021 | India Intra-Squad 2nd Match<<

“අපේ පුහුණු සැසි පැවැත්වෙන ආකාරය වගේම කණ්ඩායම බෙදී ක්‍රීඩා කරන ලද පුහුණු තරගය ක්‍රීඩා කළ ආකාරය ඉතා හොඳින් සිදු වුනා” යැයි පවසන යාදව්, “එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කළ තරගාවලිය වෙනස්. මේ තරගාවලිය ඊටත් වෙනස් තරග මාලාවක්. නමුත් අභියෝගය කියන දේ ඒ විදියටම තියෙනවා. වැදගත් වන්නේ මාගේ දක්ෂතා ඒ විදියටම පවත්වා ගෙන යෑමයි. ඒ නිසා පීඩනය කියන දේ තියෙනවා. පීඩනයක් නොමැති නම් එතන විනෝදයක් නෑ. ඒ නිසා මා ලොකු අභියෝගයක් මේ තරගාවලියේ දී බලාපොරොත්තු වෙනවා” යැයි වැඩිදුරටත් සඳහන් කර සිටියා.

IPL තරගාවලියේ දී වඩාත් ආකර්ෂණීය පිතිකරුවකු බවට පත්ව සිටින සූර්යකුමාර් ඕනෑම අවස්ථාවක හතරේ සීමාවෙන් එපිටට පන්දුව එල්ල කිරීමට සුවිශේෂී හැකියාවකින් යුක්ත පිතිකරුවෙකි. “සෑම වසරකටම මම මගේ කණ්ඩායමේ සාමාජිකයින්ගේ වෙනස් වෙනස් දේවල් ඉගෙන ගෙන තියෙනවා. ඒ අත්දැකීම් පිතිකරණ ලැයිස්තුවේ ඕනෑම තැනක ක්‍රීඩා කිරීම වෙනුවෙන් මට පැහැදිලි දායකත්වයක් ලබා දෙනවා” යැයි යාදව් පවසයි.

–ශ්‍රී ලංකා ක්‍රිකට් ඇසුරෙනි–

ශ්‍රී ලංකා – ඉන්දීය තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – ජූලි 13
  • දෙවැනි එක්දින තරගය – ජූලි 16
  • තුන්වැනි එක්දින තරගය – ජූලි 18
  • පළමු විස්සයි විස්ස තරගය – ජූලි 21
  • දෙවැනි විස්සයි විස්ස තරගය – ජූලි 23
  • තුන්වැනි විස්සයි විස්ස තරගය – ජූලි 25

තරග සියල්ලම කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර එක්දින තරග තුන දිවා/රාත්‍රි තරග ලෙසත් (පස්වරු 2.30 සිට), විස්සයි විස්ස තරග රාත්‍රි තරග (පස්වරු 7 සිට) ලෙසත් පැවැත්වෙනවා.

තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<