ලෝක කැරම් ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම්

8 වැනි ලෝක කැරම් ශූරතාවය 2022

265

මැලේසියාවේ දී පැවැත්වෙන ලෝක කැරම් ශූරතාවය සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් වන නිශාන්ත ප්‍රනාන්දු සහ ශහීඩ් හිල්මි විසින් ඊයේ (04) ශ්‍රී ලංකා මාතාවට ලෝකඩ පදක්කම් දිනා දෙන්නට සමත් වුනා.

ඒ පිරිමි යුගල ඉසව්වේ දී අත්දැකීම් බහුල බංග්ලාදේශය තරග වට 2-1ක් ලෙස පරාජය කරමිනුයි. අවසන් පූර්ව වටයේ තරගයේ දී ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනා හමුවේ තරග වට 2-1ක් ලෙස පරාජය වන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සිදු වුනත් බංග්ලාදේශ පරාජය කරමින් ලෝකඩ පදක්කම් දිනා ගන්නට ඔවුන් සමත් වුනා.

එමෙන්ම ලෝක ශූරතා කැරම් තරගාවලියේ කණ්ඩායම් ඉසව්වේ අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගන්නට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ඊයේ (04) සමත් වුනේ ප්‍රබල බංග්ලාදේශය තරග වට 02-01ක් ලෙස පරාජයට පත්කරමින්. ඔවුන් අද අවසන් මහා තරගය සඳහා තරග වැදීමට නියමිතයි. ඒ ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිවයි.

Photo credit – Sri Lankan Carrom

ශ්‍රී ලංකා කණ්ඩායම් ක්‍රීඩකයින් මූලික වටයේ තරගවල දී ඇමරිකා එක්සත් ජනපදය, දකුණු කොරියාව සහ ප්‍රංශය පරාජය කරමින් තම කාණ්ඩයේ පෙරමුණ දිනා ගනිමින් බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව අවසන් පූර්ව වටය සඳහා සහභාගී වුනා.

මෙවර තරගාවලියේ කාන්තා කණ්ඩායම් ඉසව්වේ තෙවැනි ස්ථානය සඳහා පැවැත්වෙන තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (04) සමත් වුනා. ඒ අත්දැකීම් බහුල මාලදිවයින කාන්තා කණ්ඩායම තරග වට 02-01ක් ලෙස පරාජය කරමිනුයි. ඔවුන් අද (05) බංග්ලාදේශය සමඟ ලෝකඩ පදක්කම සඳහා තරග වැදීමට නියමිතයි.

Photo credit – Sri Lankan Carrom

තරගාවලියේ කාන්තා කණ්ඩායම් ඉසව්ව නියෝජනය කරන ක්‍රීඩිකාවන් ද මේ වන විට තම තරග ඉසව්ව සඳහා සහභාගි වන අතර ඔවුන් මැලේසියාව සහ සිංගප්පූරුව සමඟ පැවති තරග දෙකම ජය ගැනීමට සමත් වුනා. ඔවුන් මූලික වටයේ තවත් තරග තුනකට සහභාගි නියමිතයි.

8 වැනි ලෝක කැරම් ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 8 දෙනෙකුගෙන් යුත් සංචිතයක් (ක්‍රීඩකයින් 4ක් සහ ක්‍රීඩිකාවන් 4ක්) ඔක්තෝබර් 1 වැනිදා මැලේසියාව බලා පිටත්ව ගියා.

එහි දී පිරිමි කණ්ඩායමේ නායකත්වය දරන්නේ ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමේ කලක් උප නායකත්වය දැරූ, 2012 වසරේ ලෝක ශූරතාවය දිනූ නිශාන්ත ප්‍රනාන්දු විසිනුයි. ඔහුට අමතරව තරගාවලිය සඳහා සහභාගී වී සිටින ශහීඩ් හිල්මි ශ්‍රී ලංකා ජාතික ශූරයෙකු ද වන අතර ඔහු මේ වන විට  Petroleum Sports Club නියෝජනය කරනු ලබනවා.

ඊට අමතරව පිරිමි කණ්ඩායම නියෝජනය කරමින්, තේරීම් තරගාවලියේ දී දක්ෂතම ක්‍රීඩකයා බවට පත් වූ, උදේශ් චමින්ද සහ කණ්ඩායමේ ළාබාලතම ක්‍රීඩකයා ලෙස සුරාජ් මධුවන්ත තරග කරනු ලබනවා.

කාන්තා සංචිතය ජෝශප් රොශීටා, ටශ්මිලා කාවින්දි, රෙබේකා ඩැල්රින් සහ නිසංසලා මදුවන්ති යන ක්‍රීඩිකාවන් ඇතුළත් වනවා.

තරගාවලිය ඉකුත් 3 වැනිදා ආරම්භ වූ අතර එළඹෙන 7 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සඳහා රටවල් 17ක් නියෝජනය කරමින් සහභාගී වන සමස්ත තරගකරුවන් ගණන 250ක්.

තරගාවලියේ තවත් උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Sri Lankan Carrom Facebook පිටුව ඇසුරෙනි

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<