ආසියානු දැල්පන්දු ශූරියන් අභිෂේක ගන්වන 2022 ආසියානු දැල්පන්දු ශූරතාවයේ අවසන් මහා තරගය අද (11) ශ්‍රී ලංකාව සහ සත්කාරක සිංගප්පූරුව අතර පැවැත්වුණා. එහි දී 63-53ක් ලෙස සිංගප්පූරුව පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා.

A කාණ්ඩයෙන් වත්මන් ශූරියන් ලෙස මෙවර තරගාවලියට පිවිසි ශ්‍රී ලංකාව දෙවැනි වටයේ දී සිංගප්පූරුව 67-49ක් ලෙස පරාජය කරන්නට ද සමත් වුනා.

සුපුරුදු දක්ෂතා දක්වමින් පළමු කාර්තුවට සාර්ථක ආරම්භයක් ලබා ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනේ පළමුව ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමිනුයි. තර්ජිනි සිවලිංගම් වෙත ලැබුණු පන්දුව ඇය පහසුවෙන් ලකුණු බවට පරිවර්තනය කළා. නමුත් උද්වේගකර තරගයක ආශ්වාදය මුල සිටම තිළිණ කළ මෙම කාර්තුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරන්නට සිංගප්පූරු ක්‍රීඩිකාවන් සමත් වුනේ 19-13ක් ලෙස පළමු කාර්තුව අවසන් කරමිනුයි.

දෙවැනි කාර්තුවේ දීත් පළමුව ලකුණු ලබා ගැනීම ආරම්භ කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට දැවැන්ත අභියෝගයක් එල්ල කරන්නට සිංගප්පූරු ක්‍රීඩිකාවන් සමත් වුනා. කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු පරතරය අවම කර ගන්නට සමත් වූ අතර තර්ජිනි අතින් අවස්ථාවක් ගිලිහි යෑමත්, ආකර්ශනීය Turnover අවස්ථා කිහිපයකුත් සමඟින් දෙවැනි කාර්තුව නිමා වුනේ 30-27ක් ලෙස සිංගප්පූරු ක්‍රීඩිකාවන් පෙරමුණ ගනිමිනුයි.

පළමු අර්ධයේ දී ලකුණු 3ක් පමණක් පිටුපසින් සිටිමින් තෙවැනි කාර්තුව ආරම්භ කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙවර තරගාවලියේ මෙතෙක් මුහුණ දුන් තියුණුම අභියෝගය සඳහා නැවතත් පිටියට පිවිසියා.

ප්‍රේක්ෂකාගාරයේ සිටි ශ්‍රී ලාංකිකයින්ගේ ඔල්වරසන් සමඟින් උද්යෝගිමත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 8 වැනි මිනිත්තුවේ දී ලකුණු පරතරය සම කරන්නට සමත් වූ අතර 5 වැනි මිනිත්තුවේ දී 39-35ක් දක්වා ඉදිරියට එන්නට ද සමත් වුනා. තෙවැනි කාර්තුව අවසානයේ දී හොඳින් සිංගප්පූරු අභියෝගයට ප්‍රතිඋත්තර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 46-38ක් ලෙස කාර්තුව අවසන් කළේ ලකුණු 8ක පරතරයක් සමඟිනුයි.

ඉතාමත් තීරණාත්මක සිව්වැනි කාර්තුව ආරම්භයේ දී ද ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා. කාර්තුවේ මුල් භාගයේ දී Turnover අවස්ථාවකින් ලකුණු වාර්තා කරන්නට සිංගප්පූරු ක්‍රීඩිකාවන් සමත් වුනේ ඔවුන් තවමත් තරගය අත්නොහැර ඇති බව විදහා දක්වමින්. කෙසේ නමුත් ශ්‍රී ලංකාව ද සිය ප්‍රහාර තීව්‍ර කරමින් සිව්වැනි කාර්තුව සියතට ගන්නට සමත් වුනේ ලකුණු පරතරය 10ක් දක්වා වර්ධනය කරගනිමින් 63-53ක් ලෙස තරගය විජයග්‍රහණය කරමිනුයි.

පළමු වටය අවසානයේ දෙවැනි වටය අවසානයේ තෙවැනි වටය අවසානයේ සිව්වැනි වටය අවසානයේ
ශ්‍රී ලංකාව 13 27 46 63
සිංගප්පූරුව 19 30 38 53

මෙවර තරගාවලිය පුරාවට ශ්‍රී ලංකාව කිසිදු තරගයක් පරාජය නොවූ අතර එහි දී ඉන්දියාව ලකුණු 102-14ක් ලෙස පරාජය කරමින් දැවැන්ත ආරම්භයක් ලබා ගන්නට ශ්‍රී ලංකාව සමත් වුනා. ඉන්පසුව පිලිපීනය හමුවේ 99-37ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා.

දෙවැනි වටයේ දී පිළිවෙළින් 53-55ක් ලෙස මැලේසියාවත්, 67-49ක් ලෙස සිංගප්පූරුවත්, 62-51ක් ලෙස හොංකොං රාජ්‍යයත් පරාජය කරමින් අවසන් පූර්ව තරගයේ දී නැවත වරක් හොංකොං ක්‍රීඩිකාවන් 67-43ක් ලෙස පරාජය කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා.

තරගාවලිය පුරාවට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කැපී පෙනෙන දක්ෂතා දක්වන්නට සමත් වූ අතර එහි දී තර්ජිනි සිවලිංගම්ගේ දක්ෂතා සෑම දෙනාගේම අවධානයට ලක් වුනා.

ශ්‍රී ලංකා සහ සිංගප්පූරු ක්‍රීඩිකාවන් මේ වන විටත් 2023 ලෝක දැල්පන්දු ශූරතාවය සඳහා සුදුසුකම් ලබා ගන්නට සමත් වී තිබෙන අතර තරගාවලිය දකුණු අප්‍රිකාවේ Cape Town හිදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට ආසියානු මට්ටමේ ජයග්‍රහණයක් දිනා දෙන්නට කැප වූ සියලු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ThePapare.com උණුසුම් සුබ පැතුම්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<