ඕස්ට්‍රේලියාවේ ගිම්හාන වීරයා – මාර්නස් ලබුශේන්

123

මෙවර අළුබඳුන තරගාවලියේ දෙවන තරගය පැවැත්වුනේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දීයි. එම තරගයේ පස්වැනි දිනය වන විට ඕස්ට්‍රේලියාවට ජයග්‍රහණය සඳහා ලකුණු 267ක ඉලක්කයක් හිමිව තිබුණි. 

ක්‍රිකට් පිටියට පියඹා පැමිණි දකුණු අප්‍රිකානු පියාසැරියා

1992 බෙන්සන් සහ හෙජස් ලෝක කුසලානයේ තරගයක් බ්‍රිස්බේන් නුවර දී පැවැත්වෙමින් තිබුණි.

ඕස්ට්‍රේලියාවේ මුල් කඩුලු දෙක ලකුණු 19ක් තුල බිඳ වැටුණේ ඕස්ට්‍රේලියාවට ප්‍රබල අභියෝගයක් එල්ල කරමිනි. එයට ප්‍රධානම හේතුව වූයේ ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත් පන්දුවට පහර දීම සඳහා නොපැමිණීමයි. 

තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 92ක් වාර්තා කිරීමට ස්මිත් සමත් විය. ජොෆ්රා ආචර්ගේ පන්දුවක් හිසෙහි වැදීම නිසාවෙන් තරගයෙන් ඉවත් වීමට ඔහුට සිදුව තිබූ අතර ටෙස්ට් ඉතිහාසයේ පළමු වතාවට පූර්ණ ක්‍රීඩක ආදේශයක් සිදු කිරීමට ඕස්ට්‍රේලියා ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබුණි. 

ස්මිත්ගේ ස්ථානය සඳහා වන ආදේශය ලෙස පිටියට පැමිණියේ මාර්නස් ලබුශේන් ය. කිසිවෙකුත් ඔහුගේ නම නිවැරදි ලෙස කීමට සමත්නොවූ අතර ක්‍රීඩාංගණයේ කිසිවෙකුත් ඔහු පිළිබඳව දැන සිටියේ නැත. මාර්නස්ට මුලින්ම මුහුණ දීමට සිදු වූයේ ජොෆ්රා ආචර්ටය. 

තම සීමාවේ සිට මාර්නස් ලබුශේන්ට පන්දුව යොමු කිරීමට ජොෆ්රා ආචර් දිව ආවේය. පළමු පන්දුව බවුන්සර් පන්දුවකි. එය වයිඩ් පන්දුවක් ලෙස සංඥා විය. දෙවන පන්දුව ද යොමු විය. ඇසිල්ලකින් මාර්නස් ලබුශේන් බිම වැටී සිටියේය. 

පන්දුව වැදී තිබුණේ හිස් ආවරණයේය. ආදේශකයාට ආදේශයක්? බොහෝ දෙනා මුමුණන්නට විය. ටෙස්ට් ලකුණු සාමාන්‍යය 20ක තබාගෙන සිටින මේ ක්‍රීඩකයා බොහෝ වෙලාවක් රැඳී නොසිටිනු ඇතැයි බොහෝ දෙනා පවසන්නට විය. 

මඳවෙලාවකින් අනතුරුව මාර්නස් නැගී සිටියේය. ඒ ජොෆ්රා ආචර්ට මුහුණ දීමටය. කිසිවෙකුත් නොසිතූ ලෙස මාර්නස් ක්‍රීඩා කිරීම ආරම්භ කළේය. ඔහු නැගී සිටියා පමණක් නොව ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා කැඳවා ගෙන යාමට දැඩි අධිෂ්ඨානයෙන් ක්‍රීඩා කරන්නට විය. Mid-Wicket කලාපය පුරා පහර එල්ල කළ මාර්නස් ජැක් ලීච්ගේ පන්දු third man කලාපයට යොමුකරමින් ලකුණු සොරාගත්තේය. 

සැබවින්ම ඔහු ස්මිත්ගේ ආදේශකයා විය. ඕස්ට්‍රේලියාවට අහිමි වූ ස්මිත් නැවත සොයාගැනීමට ඔවුන් සමත්ව තිබුණි. මඳවෙලාවකින්ම තම මංගල අළුබඳුන අර්ධ ශතකය වාර්තා කිරීමට මාර්නස් සමත් විය. ඒ පන්දු 89කිනි. 

ලබුශේන් දැවී ගියේ ලකුණු 59ක් වාර්තා කරමිනි. තරගය ජය පරාජයකින් තොරව අවසන් වූයේ තරගාවලියේ පෙරමුණ ඕස්ට්‍රේලියාවට හිමිකර දෙමිනි. ස්ටීව් ස්මිත්ගේ ආබාධය නිසාවෙන් ප්‍රශ්නාර්ථයක් වූ ඕස්ට්‍රේලියානු පිතිකරණ ලැයිස්තුවට නව ජීවයක් එක් කිරීමට මාර්නස් ලබුශේන් සමත් විය. 

මාර්නස් ලබුශේන් නම් තරුව උපත ලැබුවේ එදිනය. 

පියාට උපස්ථාන කළ තුන් ඉරියව් ක්‍රීඩකයා නැවත එංගලන්තයට

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් දකුණු අප්‍රිකාවට එරෙහිව එළඹෙන බ්‍රහස්පතින්දා………..

මෙවර ගිම්හානයේ සැබෑ හිමිකරුවා කවුරුන් විය හැකි ද? බෙන් ස්ටෝක්ස් හා ජොෆ්රා ආචර් එංගලන්තයේ ප්‍රබලතම ක්‍රීඩකයන් ලෙස කිරුළු දරා අවසන්‍ ය. බංග්ලාදේශයේ තරුව ලෙස ශකීබ් අල් හසන් ක්‍රීඩාලෝලීන්ගේ මතකයේ රැඳෙනු ඇත. ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත් මෙවර අළුබඳුන තරගාවලියේ දී දැක්වූ දක්ෂතා බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබුණි. 

නමුත් මෙවර ගිම්හානයේ සැබෑ හිමිකරුවා වන්නේ මාර්නස් ලබුශේන්ය. ඔහු අළුබඳුන තරගාවලිය තුල ලකුණු 353ක් වාර්තා කළේ පිට පිට වාර්තා කළ අර්ධ ශතක හතරක් සමඟිනි. ඔහුගේ ලකුණු සාමාන්‍යය 50.42ක් ලෙස සටහන්ව තිබුණි. 

ඕස්ට්‍රේලියා කණ්ඩායමට එක්වීමට පෙර ලබුශේන් ග්ලැමෝර්ගන් කණ්ඩායම සමඟින් දේශීය තරගාවලිය සඳහා එක්විය. ඒ එම කණ්ඩායමේ ශෝන් මාර්ශ් ලෝක කුසලානය සඳහා එක්වීම නිසාවෙනි.

මේ අමුතු ක්‍රීඩකයා පිළිබඳව අදහස් දක්වමින් ග්ලැමෝර්ගන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන මැතිව් මේනාර්ඩ් පවසා සිටියේ ඔහුගේ සාර්ථකත්වය ඔහු විසින්ම සාදා ගත් එකක් බවයි. 

“ඔහුගේ හැකියාව හා ඉගෙන ගන්න තියන ආසාව ඔහුව තව තවත් ශක්තිමත් කරනවා. මම මේ තරම් හොඳින් හා කැපවීමෙන් ඉගෙන ගන්නා ක්‍රීඩකයෙකු දැකලා නෑ.”

සැබැවින්ම එය ලබුශේන් හට ඉගෙන ගන්නා කාලයක් විය. එංගලන්තය සමඟින් පැවති තරගාවලියේ දී ඔහු තම හැකියාවන් මනා ලෙස අත්හදා බලමින් ක්‍රීඩාවේ නව මානයන් සොයා යන්නට විය. 

“ග්ලැමෝර්ගන් කණ්ඩායමට එන්න කලින් ඔහුගේ වාර්තා එතරම් හොඳ නැහැ. යම් යම් තාක්ශනික දෝෂ කිහිපයක් තිබුණා. ඒත් ඔහු ඉක්මනින්ම ඒවා හඳුනා ගෙන ඒ වැරදි හදා ගත්තා. එංගලන්ත පළමු තරගයේ දී ඔහු දැවී යාමට පෙර පන්දු තුනක් ඔහු නිදැල්ලේ යාමට ඉඩ දුන්නා.” මැයිනාර්ඩ් පවසා සිටියා. 

මැයිනාර්ඩ්ට අනුව ඔහු පළමුව ලබුශේන්ගේ පාද චලනයන් හා පාද හැසිරීම් නිවැරදි කර ඇත. 

“ඕස්ට්‍රේලියාවේ දී අපිට පුළුවන් පන්දුවේ පැමිණීම බලලා ක්‍රීඩා කරන්න. ඒත් එංගලන්තයේ දී එහෙම ක්‍රීඩා කරන්න බෑ. පන්දුවේ දෝලනය නිසා අපිට සිදු වෙනවා ටිකක් වෙලා ඉඳලා පහර දෙන්න. ලබුශේන් ඒක ඉක්මනින්ම ඉගෙන ගත්‍තා.”

අළුබඳුන තරගාවලියේ මීළඟ තරග සඳහා ස්‍ටීව් ස්මිත් එක්වුවද ලබුශේන්ගේ ස්ථානය අහිමි වූයේ නැත. තුන්වැනි ටෙස්ට් තරගයේ දී පළමු ඉනිමේ දී ලකුණු 74ක් වාර්තා කළ මාර්නස් දෙවන ඉනිමේ දී ලකුණු 80ක් වාර්තා කළේය. සිව්වැනි තරගයේ දී ද මාර්නස් නැවැත්වීමට එංගලන්තය අසමත් වූ අතර ඔහු පළමු ඉනිමේ දී ලකුණු 67ක් වාර්තා කළේය. 

අළුබඳුන තරගාවලියට පසුව ඕස්ට්‍රේලියාවට හිමි වූ අභියෝගය පාකිස්තාන තරගාවලියයි. පළමු ටෙස්ට් තරගයේ දී ම තම උපරිම දක්ෂතාවයට ළඟා වීමට මාර්නස් ලබුශේන් සමත්වූයේ ලකුණු 185ක් වාර්තා කරමිනි. 

ඕස්ට්‍රේලියා කණ්ඩායම ජයග්‍රහණය කළ එම තරගයේ වීරයා වූයේ මාර්නස්‍ ය. ඉන් නොනැවතුනු ඔහු දෙවන ටෙස්ට් තරගයේ දී ද ලකුණු 162ක් වාර්තා කිරීමට සමත් විය. 

පාකිස්තානයේ අලුත්ම ඊතලය – නසීම් ශා

ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ වඩාත්ම කතාබහට ලක්වූ පාකිස්තාන ක්‍රීඩකයා බවට පත්වීමට නසීම් ශා සමත්වූයේ වේගවත්………….

පසුගිය දා ආරම්භ වූ නවසීලන්ත ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ පළමු ඉනිම සඳහා මාර්නස් ලකුණු 143ක් වාර්තා කළ අතර දෙවන ඉනිම සඳහා ලකුණු 50ක් රැස්කිරීමට සමත් විය. 

මාර්නස් මේ දක්වා ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 13කට ක්‍රීඩා කර ඇති අතර එහි දී ඔහු ලකුණු 1166ක් වාර්තා කර ඇත්තේ ශතක 3ක් හා අර්ධ ශතක 7ක් සමඟිනි.

මාර්නස් ලබුශේන් මේ වන විට ජාත්‍යන්තර පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල 5 වැනි ස්ථානයේ රැඳී සිටින අතර ඔහුගේ පිතිකරණ සාමාන්‍යය 58.30ක් ලෙස සටහන් විය. 

අන් කණ්ඩායම්වලට කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාවට නම් ගිම්හාන වීරයෙක් බිහිව ඇත.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<