පොදුරාජ්‍ය මණ්ඩලීය ජයග්‍රාහකයින් අගයයි

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

318

පසුගිය දා එංගලන්තයේ දී නිමාවට පත් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ විශේෂ උත්සවයක් අද (25) ජාතික ඔලිම්පික් කමිටු නිවහනේ දී පැවැත්වුනා.

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, එහි ලේකම් මැක්ස්වෙල් ද සිල්වා, ක්‍රිස්බ්‍රෝ ආයතනයේ අලෙවි කළමනාකරු අමෝරිස් සීලර් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙහෙයුම් ප්‍රධානියා වන දම්පත් ප්‍රනාන්දු යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

එමෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමක් දිනා ගත් හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක පාලිත ප්‍රනාන්දු, ලෝකඩ පදක්කමක් දිනා ගත් බර එසවීමේ ක්‍රීඩක ඉසුරු කුමාර සහ ලෝකඩ පදක්කමක් දිනා ගත් මල්ලවපොර ක්‍රීඩිකා නෙත්මි අහිංසා මෙම අවස්ථාවට සහභාගී වුනා. අනෙකුත් ලෝකඩ පදක්කම් ලාභී ක්‍රීඩකයා වූ යුපුන් අබේකෝන් ඉතාලියේ වාසය කිරීම නිසා ඔහු මෙම අවස්ථාවට එක්ව සිටියේ නැහැ.

මෙම අවස්ථාවේ රැස්ව සිටි පිරිස අමතමින් ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ඔලිම්පික් කමිටුව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් යැවීමට විශාල වෙහෙසක් ගත් බවත් ඔවුන් සෑම විටම මෙරට ක්‍රීඩකයන්ගේ දියුණුවට උපකාර කරන බවයි.

එමෙන්ම එම අවස්ථාවේ දී ක්‍රිස්බ්‍රෝ  Next Champ වැඩසටහන පිළිබඳව ද අදහස් දැක්වූ අමෝරිස් සීලර් මහතා ප්‍රකාශ කළේ” ක්‍රිස්බ්‍රෝ Next Champ වැඩසටහනේ සිට ජාත්‍යන්තර පදක්කමක් දිනා ගැනීමට නෙත්මි අහිංසාට හැකි වීම පිළිබඳව සතුටු වන බවත්, ඉදිරියටත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දියුණුව උදෙසා එම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

එම අවස්ථාවලින් අනතුරුව එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සමරු තිළිණ ලබා දීමට ජාතික ඔලිම්පික් කමිටුව කටයුතු කළා.

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වූ අතර ඔවුන් මෙම තරගාවලිය අවසන් කළේ රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් තුනක් සමඟයි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<