ජාතික ක්‍රීඩා තරගාවලියට සමගාමී තරග ගම්පහ දී

47 වැනි ජාතික ක්‍රීඩා තරගාවලිය

269
National Sports Games

47 වැනි ජාතික ක්‍රීඩා තරගාවලියට සමගාමීව පැවැත්වෙන මැරතන්, පාපැදි සහ ඇවිදීමේ තරග පිළිබඳව දැනුවත් කිරීමෙ මාධ්‍ය සාකච්ඡාවක් අද (03) ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන්ට් වයිට් ශ්‍රවණාගාරයේ දී පැවැත්වුනා.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම මාධ්‍ය හමුව සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක අමල් එදිරිසූරිය, ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂක අයි. පී. විජයරත්න, නෙස්ලේ ආයතනයේ උපසභාපතිවරයෙකු වන බන්දුල එගොඩගොඩ ඇතුළු මහත්වරුන් පිරිසක් එක්ව සිටියා.

මාධ්‍ය හමුව සඳහා පැමිණි පිරිස පිළිගැනීම අමල් එදිරිසූරිය මහතා විසින් සිදු කළ අතර ඉන් පසුව අදහස් දක්වමින් අයි. පී. විජයරත්න මහතා ප්‍රකාශ කළේ මෙම තරග සියල්ල ජාත්‍යන්තර නීතිවලට අනුව සිදු කරන බවත්, මැරතන් තරගය ඩකා මැරතන් තරගයට සහ ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ තරගයක් ලෙස ක්‍රියාත්මක වන බවයි.

එමෙන්ම මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ,

“මෙම තරගාවලියට සම්පූර්ණ දායකත්වය ලබා දෙන නෙස්ලේ/ නෙස්ටමෝල් ආයතනයට අපගේ ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම මෙම තරගාවලි ක්‍රීඩා උළෙල විදියට තියන්නේ නැතිව ක්‍රීඩා තරගාවලි ලෙසයි පවත්වන්නේ ඕන.

උළෙලක් විදියට අරන් අනවශ්‍ය විදියට වියදම් කරනවාට වඩා තරගාවලියක් විදියට නිවැරදි පවත්වන එකයි වැදගත්.

ඒ වගේම ඉදිරියේ දී පැවැත්වෙන තරගාවලි සම්පූර්ණ අනුග්‍රාහකයින් යටතේ පැවැත්වීමට සැලසුම් කරන අතර මම ආරාධනා කරනවා ආයතනවලට එක් ක්‍රීඩාවක හරි වගකීම ගන්න කියලා.”

තරගාවලියට සමගාමීව පැවැත්වෙන මෙම තරග ඔක්තෝබර් 08 සහ 09 දිනවල දී පැවැත්වීමට නියමිතව ඇති අතර එම තරග සියල්ල පළමු වරට පැවැත්වෙන්නේ ගම්පහ කේන්ද්‍ර කර ගෙනයි.

මැරතන් තරගය ඔක්තෝබර් 08 වැනිදා ගම්පහ උඩුගම්පොළ මාර්ගයේ ගුවන් පාලම අසලින් උදෑසන 5.30ට ආරම්භ වීමට නියමිත අතර එම තරගය සඳහා ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් 30ක් සහභාගී වීමට නියමිතයි.

පාපැදි රේසිං තරග ද 08 වැනිදා පෙ.ව. 9.40ට ආරම්භ වීමට නියමිත අතර එම තරගය සඳහා ක්‍රීඩකයින් 250ක් සහ ක්‍රීඩිකාවන් 50ක් සහභාගී වීමට සූදානමින් පසුවනවා.

කිලෝමීටර් 165ක දුරකින් යුත් පිරිමි තරගය ගම්පහ අස්ගිරිය අලුත් පාර අසලින් ආරම්භ වීමට නියමිත අතර කිලෝමීටර් 82.5ක දුරකින් යුත් කාන්තා තරගය ද එම ස්ථානයෙන් ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ ඇවිදීමේ තරග ඔක්තෝබර් 09 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති අතර කිලෝමීටර් 20ක දුරකින් යුත් මෙම තරගයට ක්‍රීඩකයින් 100ක් සහ ක්‍රීඩිකාවන් 40ක් ලියාපදිංචි වී අවසන්.

ජයග්‍රාහකයන්ට හිමි වන මුදල් ත්‍යාග

  • පළමුවැනි ස්ථානය – රු, 50,000
  • දෙවැනි ස්ථානය – රු 40,000
  • තෙවැනි ස්ථානය – රු 30,000
  • සිව්වැනි ස්ථානය – 20,000
  • පස්වැනි ස්ථානය – 18,000
  • හයවැනි ස්ථානය – 16,000
  • හත්වැනි ස්ථානය – 14,000
  • අටවැනි ස්ථානය – 12,000
  • නවවැනි ස්ථානය – 10,000
  • දසවැනි ස්ථානය – 8,000

එමෙන්ම 47 වැනි ජාතික ක්‍රීඩා තරගාවලිය සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය නෙස්ලේ නෙස්ටොමෝල්ට් ආයතනය විසින් ලබා දීම විශේෂත්වයක්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<