ඔලිම්පික් සුදුසුකම සොයා ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉන්දියාවට

232

ජුනි 25 වැනිදා සිට 29 වැනිදා දක්වා ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත 60th National Interstate Senior Championship තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් සහභාගී කරවීමට මලල ක්‍රීඩා සංගමය කටයුතු සූදානම් කරමින් සිටින බව වාර්තා වේ.

ඉන්දියානු මලල ක්‍රීඩා සංගමයේ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකාව මෙම තරගාවලියට සහභාගී වීමට තීරණය කර ඇති අතර ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ කාලසීමාව ජුනි 29 වැනිදායින් අවසන් වන නිසා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් වරම් දිනා ගැනීමට හිමිවන අවසන් අවස්ථාව මෙය වනු ඇත.

මෙම තරගාවලියට පෙර, පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ජුනි 19 සහ 20 යන දිනවල දී කසකස්තානයේ පැවැත්වීමට නියමිත XXXI Qosanov Memorial Championship තරගාවලියට සහභාගී කරවීමට මලල ක්‍රීඩා සංගමය සැලසුම් කර ඇත.

එම සංචිතය සඳහා නිමාලි ලියනආරච්චි, සුමේධ රණසිංහ, නදීෂා රාමනායක, කාලිංග කුමාරගේ සහ උෂාන් තිවංක යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළත් බව වාර්තා වේ.

එම තරගාවලියෙන් පසුව පැවැත්වෙන ඉන්දීය තරගාවලිය සඳහා ඉහත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව නිලානි රත්නායක (3000m බාධක දිවීම), වරුණ ලක්ෂාන් දයාරත්න (හෙල්ල විසිකිරීම), නදීකා ලක්මාලි (හෙල්ල විසිකිරීම), අරුණ දර්ශන (400m), හිමාෂ ඒෂාන් (100m), යුපුන් අබේකෝන් (100m) සහ කාන්තා 4×100 සහය දිවීමේ කණ්ඩායම (අමාෂා ද සිල්වා, ශෙලින්ඩා ජැන්සන්, මේධානි ජයමාන්න, Safiya Yamic සහ ලක්ෂිකා සුගන්ධි) යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංචිතයට එක්කිරීමට තීරණය කර ඇත.

තවත් මලල ක්‍රීඩා පුවත්:

කෙසේ නමුත් ඊයේ දිනයේ පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියේ දී ඉහළ දස්කම් දැක්වූ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් තවමත් මෙම තරගාවලිය සඳහා සහභාගී වීම පිළිබඳව තහවුරු කර නොමැති නිසාවෙන් ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත වේ.

නමුත් මෙම තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ඔහුට හිමිවුවහොත් ඔලිම්පික් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට ඔහුට විශාල අවස්ථාවක් හිමිවනු ඇත.

එමෙන්ම වර්තමාන දත්තවලට අනුව ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ පරාසයේ සිටින නිලානි රත්නායක හට ද සිය ඔලිම්පික් අසුන තහවුරු කරගැනීමට මෙම තරගාවලිය ඉතා වැදගත් වේ.

එනමුත් ඉන්දියාවේ වත්මන් කොරෝනා තත්වය නිසාවෙන් ඉන්දියාවට ගමන් කිරීම සහ නැවත පැමිණීමේ දී ගැටලු රැසකට මුහුණ දීමට ද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදු වන බැවින් එයට අදාළ කටයුතු සූදානම් කිරීම සහ ඉන්දියාවට යෑමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඇති කැමැත්ත පිළිබඳව සොයා බැලීමක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සිදු කරමින් ඇති බව ද වාර්තා වේ.

කොරෝනා වසංගතය නිසාවෙන් මලල ක්‍රීඩා පිටියේ තරගාවලි අඩු වීම නිසා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබෙන තරගාවලි ඉතාමත් අඩු වීම නිසා මෙවැනි තරගාවලි ඉතා වැදගත් වේ.

මෙම තරගාවලිය සඳහා සහභාගී වීමට ඉන්දියානු මලල ක්‍රීඩා සංගමය ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය, චීන තායිපේ, මලයාසියාව සහ කසකස්තානය යන රටවල්වලට ද ආරාධනා කර ඇති බව වාර්තා වේ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<