දැඩි තරගකාරී බවක් පෙන්නුම් කළ ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 6 වන සති අන්තයේ අවසන් දිනයට අදාළව මහනුවර ක්‍රීඩා සමාජය තරග වැදුනේ කොළඹ CR & FC ක්‍රීඩා සමාජය සමගිනි.

තම සත්කාරක ක්‍රීඩාංගනයේ අපරාජිත වාර්තාව තවදුරටත් රැකගන්නට සමත් වූ මහනුවර ක්‍රීඩකයන් මෙම තරගය ලකුණු 53 – 29 ක් ලෙස ජයගන්නට සමත් විය. පළමු අර්ධයේදී CR කණ්ඩායමෙන් එල්ලවූ ප්‍රභල අභියෝගයට දෙවන අර්ධයේදී සාර්ථක පිළිතුරක් ලබාදුන් උඩරට බලඇණිය 6 වන සති අන්තය අවසන් වනවිට ඩයලොග් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ 3වන ස්ථානය තහවුරු කර ගන්නට සමත් විය.

අශාන් ද කොස්තාගේ පා පහරින් තරගය ආරම්භ වීමත් සමඟ ෆාසිල් මරීජා විසින් ලබාගෙන ඉදිරියට යොමු කල පන්දුව දමිත් දිසානායක අතින් රිචඩ් ධර්මපාල අතට පිරිනැමුණේ වේගවත් ධර්මපාල හට ප්‍රතිවාදීන් මගහරිමින් මීටර් 40ක් පමණ තනිව දිවගොස් මහනුවර කණ්ඩායමට පළමු ලකුණු එකතු කිරීමේ අවස්ථාවද ලබා දෙමිනුයි. අර්ශාඩ් ජමාල්ඩීන් වෙනුවට ප්‍රවර්ථන පිලිබඳ වගකීම භාරගත් තිලින විජේසිංහ, සාර්ථකව අමතර ලකුණු එක් කරන්නට සමත් විය. (මහනුවර 07 – 00 CR & FC)

CR & FC කණ්ඩායම ඊට ඉක්මන් පිළිතුරක් ලබා දුන්නේ තරින්ද රත්වත්ත සාර්ථකව එල්ල කල දඬුවම් පහරක් මගිනුයි. (මහනුවර 07 – 03 CR & FC)

රත්වත්ත නැවතත් තම හැකියාව ප්‍රදර්ශනය කලේ ඔහු විසින්ම පා පහරකින් ඉදිරියට යොමු කල පන්දුවක් හඹා ගොස් ලබාගෙන මහනුවර කණ්ඩායමේ ආරක්ෂක ක්‍රීඩකයන් දෙදෙනෙක් පරයායමින් වාර්තා කල උත්සාහක දිනුමක් මගිනුයි. ඔහුගේම සාර්ථක ප්‍රවර්ථනය හේතුවෙන් CR & FC කණ්ඩායමට ලකුණු 3ක් ඉදිරියට යන්නට ද හැකිවිය. (මහනුවර 07 – 10 CR & FC)

කවිඳු පෙරේරා විසින් පිරිනැමූ පන්දුවක් ලබාගත් රත්වත්ත තම දෙවන උත්සාහක දිනුම වාර්තා කලේ මීටර් 30ක් පමණ දිවයාමෙන් පසුවයි. කෙසේ වෙතත් ගෝල කණු අසලම ලද ප්‍රවර්තනය මෙවර ඔහුට ගිලිහී යන ලදී. (මහනුවර 07 – 15 CR & FC)

මීටර් 40ක් පමණ දුරක සිට ලැබුණු දඬුවම් පහරක් සාර්ථකව ගෝල කණු අතරින් එල්ල කල තිලිණ විජේසිංහ ලකුණු පරතරය 3කින් අඩු කළා පමණක් නොව සත්කාරක මහනුවර කණ්ඩායම වෙත නැවත තරගයේ පාලනය ලබා දෙන්නටද සමත් විය. (මහනුවර 10 – 15 CR & FC)

එතැන් පටන් දර්ශනීය ක්‍රීඩා විලාශයක් ප්‍රදර්ශනය කල මහනුවර කණ්ඩායම නැවත තරගයේ ලකුණු සම කලේ ෆසිල් මරීජා, ගයාන් වීරරත්න සහ තිලිණ විජේසිංහගේ සහාය ඇතිව විශ්වමිත්‍ර ජයසිංහ වාර්තා කල උත්සාහක දිනුමත් සමඟයි. (මහනුවර 15 – 15  CR & FC)

ශ්‍රී ලංකා කනිෂ්ඨයින් ප්‍රථම ජය වාර්තා කරයි

මැලේසියාවේ ක්වලාම්පූර් නුවර යූපීම් ක්‍රීඩාපිටියේදී පැවැත්වෙන ආසියානු ශූරතා කනිෂ්ඨ රග්බි…

CR & FC කණ්ඩායම යලිත් වරක් ඉදිරියට පැමිණීමට සමත් වූ අතර එම උත්සාහක දිනුමේ හිමිකරු බවට පත් වූයේ කවිඳු පෙරේරායි. රත්වත්ත අමතර ලකුණු එක් කිරීමත් සමඟ CR & FC ලකුණු පුවරුව 22 දක්වා ඉහල යන ලදී.

සොයුරු ඇන්තනි පළමු අර්ධය අවසන් වීමට පෙර මහනුවර කණ්ඩායම වෙනුවෙන් 3 වන උත්සාහක දිනුම වාර්තා කල අතර තිලිණ විජේසිංහ එය ප්‍රවර්ථනය කලේ විවේකය වන විට කණ්ඩායම් දෙක අතර කිසිදු ලකුණු වෙනසක් නොමැති වාතාවරණයක් උදා කරමිනුයි.

පළමු අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 22 – 22 CR & FC ක්‍රීඩා සමාජය

දෙවන අර්ධයේ පළමු ලකුණු ලබාගැනීමේ ගෞරවය හිමි කර ගත්තේ ධනුෂ්ක රංජන් විසිනුයි. මෙය මෙවර තරග වාරයේ ඔහු වාර්තා කල 8වන උත්සාහක දිනුම වන අතර 6වන සති අන්තය අවසන් වනවිට ඔහු වැඩිම උත්සාහක දිනුම් ලාභීන්ගේ ලයිස්තුවේ පෙරමුණ ගෙන සිටියි. තිලින විජේසිංහ එහි ප්‍රවර්ථනයද සාර්ථක කර ගන්නා ලදී. (මහනුවර 29 – 22 CR & FC)

යාකුබ් අලි සහ සහ ධනුෂ්ක රන්ජන් මහනුවර කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම බැගින් ලබා ගත්තේ CR & FC කණ්ඩායමට දැඩි ප්‍රහාරයක් එල්ල කරමිනුයි. තිලින විජේසිංහ තම නොවරදින පා පහරේ බලය යලි යලිත් ප්‍රදර්ශනය කිරීමද CR & FC කණ්ඩායමට දැඩි හිසරදයක් විය. (මහනුවර 43 – 22 CR & FC)

මහනුවර කණ්ඩායමේ දිනයේ අවසන් උත්සාහක දිනුම් ලාභියා බවට පත් වූයේ ධනූෂ දයාන් ය. ෆාසිල් මරීජා පිටිය හරහා ඉදිරියට එල්ල කල පන්දුවකින් මෙම උත්සාහක දිනුමට සහය ලැබුණි. (මහනුවර 50 – 22 CR & FC)

CR & FC කණ්ඩායම වෙනුවෙන් දෙවන අර්ධයේදී වාර්තා වූ එකම උත්සාහක දිනුමට හිමිකම් කියන්නට අශාන් ද කොස්තා සමත් විය. මහනුවර ක්‍රීඩකයකු අතින් පන්දුව සොරා ගෙන මීටර් 60ක පමණ දුරක් තනිව දිවගොස් වාර්තා කල මෙම උත්සාහක දිනුමේ ප්‍රවර්ථනයද සාර්ථක විය. (මහනුවර 50 – 29 CR & FC)

සම්පූර්ණයෙන්ම මහනුවර කණ්ඩායමේ ආධිපත්‍යට නතුව තිබු දෙවන අර්ධයට වර්ණවත් අවසානයක් සනිටුහන් කල තිලිණ විජේසිංහ දිනයේ අවසන් වරට ලකුණු පුවරුව ක්‍රියාත්මක කලේ දර්ශනීය ඩ්‍රොප් ගෝලයක් එල්ල කරමිනුයි. (මහනුවර 53 – 29 CR & FC)

මහනුවර කණ්ඩායම නිත්තවෙල ක්‍රීඩාංගනයේ පැවති තරග 3ම ජයගත්තේ අමතර ප්‍රසාද ලකුණක් (Bonus Point) බැගින්ද ලබා ගනිමිනුයි. මේ අනුව ඔවුන් ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 6 වන සති අන්තය අවසන් වනවිට ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානයේ පසු වන්නේ හැව්ලොක් සහ නාවික හමුදා කණ්ඩායම් වලට පසුපසිනි. කෙසේවෙතත් මෙවර තරගාවලියේ පළමු වටයේ අවසන් සති අන්තය වන ලබන සති අන්තයේදී අපරාජිත හැව්ලොක් කණ්ඩායම පරාජය කරන්නට මහනුවර ක්‍රීඩකයන්ට හැකි වුවහොත් අන්තර් සමාජ ලීග් රග්බි කිරුල තම සන්තකයේම තබාගැනීමේ බලාපොරොත්තු තවදුරටත් රඳවා ගන්නට ඔවුන්ට අවස්තාව හිමි වනු ඇත.

අවසන් ලකුණු තත්ත්වය

මහනුවර ක්‍රීඩා සමාජය – 53 (උත්සාහක දිනුම් 7, ප්‍රවර්ථන 6, දඬුවම් පහර 1, ඩ්‍රොප් ගෝල – 1)

CR & FC ක්‍රීඩා සමාජය – 29 (උත්සාහක දිනුම් 4, ප්‍රවර්ථන 3, දඬුවම් පහර 1)

ThePapare.com තරගයේ වීරයා – ගයාන් වීරරත්න (මහනුවර ක්‍රී. ස.)

ලකුණු ලබාගත් ක්‍රීඩකයන්

මහනුවර 

  • උත්සාහක දිනුම්: ධනුෂ්ක රංජන් – 2, විශ්වමිත්‍ර ජයසිංහ – 1, ධනූෂ් දයාන් – 1, යාකූබ් අලි – 1, රිචඩ් ධර්මපාල – 1, සොයුරු ඇන්තනි – 1
  • ප්‍රවර්තන: තිලිණ විජේසිංහ – 6
  • දඬුවම් පහර: තිලිණ විජේසිංහ – 1
  • ඩ්‍රොප් ගෝල: තිලිණ විජේසිංහ – 1

CR & FC

  • උත්සාහක දිනුම්: තරින්ද රත්වත්ත – 2, කවිඳු පෙරේරා – 1, අශාන් ද කොස්තා – 1
  • ප්‍රවර්තන: තරින්ද රත්වත්ත – 3
  • දඬුවම් පහර: තරින්ද රත්වත්ත – 1

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට