කාන්තා 10,000m ලෝක වාර්තාව බිඳ වැටේ

156

නෙදර්ලන්තයේ පැවති ඉතියෝපියානු තේරීම් තරග සඳහා සහභාගී වූ ඉතියෝපියානු ක්‍රීඩිකා Letesenbet Gidey මීටර් 10,000 ඉසව්වේ කාන්තා ලෝක වාර්තාව බිඳ හෙළීමට සමත් වුනා.

තරගාවලියේ මීටර් 10,000 ඉසව්ව මිනිත්තු 29:01.03ක කාලයකින් අවසන් කළ Letesenbet Gidey බිඳ හෙළීමට සමත් වුනේ පසුගිය ඉරිදා (06) මීටර් 10,000 ඉසව්ව මිනිත්තු 29:08.82ක කාලයකින් අවසන් කරමින් Sifan Hassan පිහිටුවා තිබූ ලෝක වාර්තාවයි.

ඒ අනුව දින තුනක් තුළ කාන්තා මීටර් 10,000 ලෝක වාර්තාව බිඳ හෙළූ දෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ 2016 වසරේ දී එම ඉසව්ව මිනිත්තු 29:17.45ක කාලයකින් අවසන් කළ ඉතියෝපියානු ක්‍රීඩිකා Almaz Ayana හටයි.

ලෝක වාර්තාව පිහිටුවීමට සමත් වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් Letesenbet Gidey ප්‍රකාශ කර සිටියේ,

“මම ලෝක වාර්තාගත කාලයක් දුවන්න බලාපොරොත්තු වුනා, මම නැවතත් මගේම ලෝක වාර්තාව බිඳ හෙළන්න වගේම මිනිත්තු 29ට අඩු කාලයකින් තරගය අවසන් කරන්න උත්සහ කරනවා”

තවත් ක්‍රීඩා පුවත්:

මෙම වාර්තාව සමඟින් කාන්තා මීටර් 5000 සහ 10,000 යන ඉසව් ද්විත්වයේම ලෝක වාර්තාව සිය නාමය යටතට ගැනීමට Letesenbet Gidey සමත් වූ අතර Ingrid Kristiansen (1986 -1993) පසු එම දස්කම පෑ පළමු ක්‍රීඩිකාව ලෙස ද ඇය ඉතිහාසගත වුනා.

මේ වන විට 23 වැනි වියේ පසුවන Letesenbet Gidey 2019 ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ දී මීටර් 10,000 රිදී පදක්කම දිනා ගැනීමට ද සමත් වූ අතර මෑත කාලීන දස්කම් මත ඇය ඔලිම්පික් උළෙලේ රන් පදක්කම දිනා ගැනීමට ද බොහෝ ඉඩක් ඇත.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<