T20 23න් පහළ කාන්තා ශූරතාව දඹුල්ලට

NSL Womens U23 T20 Tournament 2024

166

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ National Super League වයස අවුරුදු 23න් පහළ විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට Dambulla කණ්ඩායම් ක්‍රීඩිකාවෝ සමත් වූවා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (26) පැවැති අවසන් මහා තරගය සඳහා Dambulla කණ්ඩායම සහ Colombo කණ්ඩායම එක් වූ අතර එම තරගයේ දී Colombo කණ්ඩායමට එරෙහිව කඩුලු 4ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Dambulla කණ්ඩායම සමත් වූවා.

අවසන් මහා තරගය, මැයි 26, ගාල්ල, NSL Womens U23 T20 Tournament 2024

 කාසියේ වාසිය – දඹුල්ල

o ක්‍රීඩාංගණය – ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ගාල්ල.

Dambulla වයස අවුරුදු 23න් පහළ කාන්තා කණ්ඩායම: විදූශිකා පෙරේරා (නායිකාව), හෂිනි ඉන්ද්‍රජිත්, විමෝක්ෂා බාලසූරිය, සඳුනි බණ්ඩාර, නිලක්ෂි කාවින්ද්‍යා, ජනාදි අනලි, ලිමි තිලකරත්න, දුලංගා දිසානායක, පමෝදා ශයිනි, මල්ෂි නිරාශා සහ හරිනි පෙරේරා.

Colombo වයස අවුරුදු 23න් පහළ කාන්තා කණ්ඩායම: මනුදි නානායක්කාර (නායිකාව), ශිකරි ද සිල්වා, අශානි කෞෂල්‍යා, කවිශ්කා අබේරත්න, නිකේශා විජේසේකර, ලක්නි නිම්සරා (කඩුලු රකින්නිය), තරුෂි තත්සරණි, දිනිති සේනානායක, හෂිනි ලියනගේ, සජින්තිනී සතීස්කුමාර් සහ නෙත්මි සංජනා.

කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල ක්‍රීඩිකාවන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොළඹ ක්‍රීඩිකාවෝ කඩුලු 7ක් දැවී ලකුණු 98ක් ලබා ගත්තා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ ආරම්භක පිතිකාරිනිය වූ ශිකරි ද සිල්වා. ඇය පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා.

ඊට අමතර ව නිකේශා විජේසේකර පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ලබා ගත් අතර තරුෂි තත්සරණි පන්දු 9කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 13ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී විදූශිකා පෙරේරා ලකුණු 24කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව හිරිනි පෙරේරා කඩුලු 2ක් ද සහ මල්ෂි නිරාශා කඩුල්ලක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Dambulla කණ්ඩායම ප්‍රතිවාදී ඉලක්කය තවත් පන්දු 10ක් සහ කඩුලු 4ක් ඉතිරි ව තිබිය දී සපුරා ගැනීමට සමත් වූවා.

හඹා යන ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 4ක් වෙද්දී දවා ගැනීමට අගනුවර ක්‍රීඩිකාවෝ සමත් වූව ද 2 වැනි කඩුල්ල සඳහා පන්දු 24ක දී ලකුණු 36ක් එක් කිරීමට විමෝක්ෂා බාලසූරිය සහ සඳුනි බණ්ඩාර (9) සමත් වූවා.

විමෝක්ෂා බාලසූරිය පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී ගියා.

එතැන් සිට තවත් ලකුණු 22ක් ලකුණු පුවරුවට එක් වෙද්දී කඩුලු 4ක් දවා ගැනීමට ප්‍රතිවාදි Colombo පන්දු යවන්නියෝ සමත් වූවා. අනතුරු ව 7 වැනි කඩුල්ල සඳහා එක් වූ ලිමංසා තිලකරත්න සහ නායිකා විදුශිකා පෙරේරා තරගය ජයග්‍රහණය කරා රැගෙන යෑමට සමත් වූවා.

ඔවුන් දෙදෙනා එක් ව 7 වැනි කඩුල්ලට පන්දු 38ක දී නොදැවුණ ලකුණු 37ක් එක් කළා. එහි දී ලිමංසා තිලකරත්න පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 21ක් ද සහ විදුශිකා පෙරේරා පන්දු 15කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 14ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී හෂිනි ලියනගේ ලකුණු 20කට කඩුලු 3ක් දවා ගත් අතර තරුෂි තත්සරණි ද ලකුණු 20කට කඩුලු 2ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Colombo – කඩුලු 7ක් දැවී 98 (20.0) ශිකරි ද සිල්වා 25, නිකේශා විජේසේකර 19, විදූශිකා පෙරේරා 3/24, හරිනි පෙරේරා 2/12

 

Dambulla – කඩුලු 6ක් දැවී 99 (18.2) විමෝක්ෂා බාලසූරිය 27, ලිමංසා තිලකරත්න නොදැවී 21, විදුශිකා පෙරේරා නොදැවී 14, හෂිනි ලියනගේ 3/20, තරුෂි තත්සරණි 2/20

 

Dambulla වයස අවුරුදු 23න් පහළ කාන්තා කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<