කොරෝනා ඔලිම්පික් වෙත ද බලපෑම් කරයි

99

මේ දිනවල ලොව පුරා ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන වයිරසයක් වන කොරෝනා නිසාවෙන් ලොව ප්‍රකට ක්‍රීඩා තරගාවලීන් රැසක් නතර කිරීමට හෝ කල් දැමීමට සිදු වී ඇත. දිනෙන් දින අවදානම වැඩි වෙන මෙම වයිරසය නිසාවෙන් ඔලිම්පික් තරගාවලිය ද කල් යාමේ අවදානමකට මේ වන විට පත්ව ඇත.ලොවම අවධානයෙන් පසු වන ක්‍රීඩා මංගල්‍යය වන ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙම වසරේ ජූලි මාසයේ දී ආරම්භ වීමට නියමිතව පවතී. චීනයෙන් ආරම්භ වූ මෙම කොරෝනා වයිරසය නිසාවෙන් ගෘහස්ථ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ඇතුළු බොහෝ ක්‍රීඩා තරගාවලි නැවතූ නිසාවෙන් ඔලිම්පික් උළෙලට ද මෙය බාධාවක් වේ දැයි සියල්ලන් අවධානයෙන් පසු විය.

නමුත් මීට පෙර මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ජපන් ඔලිම්පික් බලධාරීන් ප්‍රකාශ කර සිටියේ කිසිදු හේතුවක් මත මෙම තරගාවලිය කල් තැබීමක් හෝ අවලංගු කිරීමක් සිදු නොකරන බවයි. නමුත්  මේ පිළිබඳව ජපාන ඔලිම්පික් අමාත්‍යවරිය වන සෙයිකෝ හශිමොටෝ ප්‍රකාශ කර සිටියේ මේ වන විට කොරෝනා වයිරසය පාලනය කල නොහැකි මට්ටමකට පැමිණ ඇති නිසාවෙන් ඔලිම්පික් උළෙල මෙම වසර අග භාගය වනතුරු කල් යා හැකි බවයි.

ජපාන ඔලිම්පික් පිළිබඳ අමාත්‍යවරිය ශෙයිකෝ හශිමොටෝ

“ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) හා ඇති කර ගත් ගිවිසුම අනුව මෙම තරගාවලිය 2020 වර්ෂය ඇතුළත පැවැත්විය යුතුයි. නමුත් අප මේ වන විට අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කරමින් පවතිනවා මෙම ක්‍රීඩා උළෙල කලින් සැලසුම් කර ආකාරයටම පැවැත්වීමට” යැයි ඇය වැඩි දුරටත් පවසා සිටියා.

පෙර සැලසුම් කළ පරිදි මෙවර ඔලිම්පික් තරගාවලිය ජූලි 24 වැනිදා සිට අගෝස්තු 09 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි. නමුත් දැන් එල්ල වන සෞඛ්‍ය තර්ජන නිසාවෙන් මෙය ද අනෙකුත් තරගාවලීන් මෙන් කල් යෑමකට ලක් වේ දැයි සියල්ලන් අවධානයෙන් බලා සිටී.

චීනයේ වූහාන් ප්‍රදේශයෙන් පැතිර ගිය මෙම වයිරසය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 3200 කට අධික පිරිසක් මිය ගොස් 90,000කට අධික පිරිසක් රෝගී තත්ත්වයට පත්ව ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<