Smithට තවමත් එංගලන්තයෙන් ප්‍රශ්න

The Ashes 2023

2846

2023 අළුබඳුන තරගාවලියේ තෙවැනි තරගය මේ දිනවල එංගලන්තයේ ලීඩ්ස් හිදි පැවැත්වෙනවා.

මෙතෙක් තරගාවලියේ පැවැත්වුණු තරග දෙක තුළ දී ම රටවල් දෙක අතර යම් මතභේදකාරී ගැට‍ලු ඇති වූ අතර දැන් පැවැත්වෙන තරගාවලියේ තෙවැනි තරගය ද පෙර ඒවාට නොදෙවෙනි අයුරින් නිමා වනු ඇති බව අනුමාන කළ හැකි. 

තවමත් තරගයේ දින දෙකක් පමණක් නිමා වී ඇති නමුත් මේ වන විට තරගයේ ක්‍රියාත්මක වන්නේ තුන්වැනි ඉනිමයි. තරගයේ දෙවැනි දිනය (ඊයේ 07) නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රියාත්මක කරමින් සිටි ඕස්ට්‍රේලියාව කඩුලු 4ක් දැවී ලකුණු 116ක් ලබා සිටියේ එංගලන්තයට වඩා 142ක ඉදිරියක් ලබා ගනිමිනුයි.

මේ අතර ඕස්ට්‍රේලියාව විසින් බිහි කළ විශිෂ්ටතම පිතිකරුවෙකු ලෙස සැලකුම් ලබන Steven Smith විසින් මෙම තරගය සමඟින් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ 100 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා කර ගත්තා.

සමඟම Smithගේ නම තරමක් වැඩි වශයෙන් කතාබහට ලක් වෙමින් තිබුණු අතර ඊයේ ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේ දී ලකුණු 2ක් ලබා ගැනීමෙන් පසු දැවී යාමෙන් පසුව ඇති වූ සිදුවීමත් සමඟින් ඔහු පිළිබඳ කතාබහට තවත් ජීවය ලැබුණා. 

Moeen Ali විසින් යැවූ පන්දුවක් හමුවේ Ben Duckett හට පහසු උඩපන්දුවක් ලබා දුන් Smith විසින් කණ්ඩායමට අවශ්‍යතම මොහොතක පිටියෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් එංගලන්ත කඩුලු රකින ක්‍රීඩක Jonny Bairstow සතුටු වූ බව පෙනෙන්නට තිබුණා. 

“පස්සේ මුණගැහෙමු Smudge.” 

(Smudge – Smithගේ අන්වර්ථ නාමය) 

Bairstow විසින් Smithට සමුදීමට එසේ පැවසූ වහාම ක්‍රීඩාගාරය වෙත පියමනිමින් සිටි Smith නැවත Bairstow දෙසට හැරුණා. 

“මොකක්ද යාළුවා ඒ?” 

නමුත් ඔහුට Bairstowගෙන් පිළිතුරක් ලැබුණේ නැහැ. 

හේයි!” 

Smith විසින් නැවතත් Bairstowව ආමන්ත්‍රණය කළා. 

“මම කිව්වේ චියර්ස් කියලා, පසුව මුණගැහෙමු.” 

එතරම් ම උණුසුම් කතාබහක් ඔවුන් දෙදෙනා අතර ඇති නොවුනත් මෙතෙක් තරගාවලියේ දෙපාර්ශවය අතර ඇති වූ මත ගැටුම් සහ මීට පෙර තරගයේ Jonny Bairstow සම්බන්ධව සිදු වූ ස්ටම්ප් කිරීම නිසා මෙම සිදුවීමට ඉහළ මාධ්‍ය අවධානයක් යොමු වුනා. 

මේ අතර දිනය අවසානයේ මාධ්‍ය හමුවට පැමිණි Smithගේ කඩුල්ල ද සමඟ ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේ කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වූ Moeen Ali විසින් තහවුරු කළේ දෙපාර්ශවය අතර එදිරිවාදිකමක් නොමැති බවයි. 

ක්‍රීඩාගාරයේ දී කවුරුන් හරි මට ඒ සිදුවීම ගැන කිව්වා. නමුත් ඇත්තටම මොකක් ද කිව්වේ කියන්න මම දන්නේ නැහැ. මම සමරමින් හිටියේ. මම ඇත්තටම දැක්කේ නැහැ. 

මේ තරගය ඉතාම හොඳයි. කණ්ඩායම් දෙක ම හොඳ මට්ටමක සිටිනවා. ඒ වගේ ම මුකුත් විශාල දෙයක් කණ්ඩායම් අතර නැහැ.” 

Moeen විසින් එසේ ප්‍රකාශ කළත්, ලීඩ්ස් ප්‍රේක්ෂකාගාරය නම් තවමත් Smith සහ ඕස්ට්‍රේලියානුවන් පිළිබඳ ව එතරම් කැමැත්තක් පෙන්වන්නේ නැහැ. 

මෙම තරගයේ දී Smith විසින් පිටියට යන අවස්ථාවල ඔහුට විරුද්ධව හඬ නැගීමට ලීඩ්ස් ප්‍රේක්ෂකයින් යොමු වී තිබුණා. නමුත් Smith නම් පවසන්නේ තමන් මේ කිසිවක් ගණන් නොගන්නා බවයි. 

“ඒක මට කරදරයක් නෙවෙයි. හැම කෙනෙකුට ම තමන්ගේ මතයක් දරන්න අයිතිය තියෙනවා. 

මම දන්නවා මම කවුද කියලා, ඒ වගේ ම මම මොකක්ද කළ යුතු කියලා. මම මෙහේ ආවේ මගේ ක්‍රීඩාව ක්‍රීඩා කරන්න. මගේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න. මම ඒ ගැන ආඩම්බර වෙනවා. 

ඕන කෙනෙකුට තමන් කැමති දෙයක් කියන්න පුළුවන්.” 

කිසිදු බදා කිරීමක් තමන්ට බලපෑමක් නොවෙන බව සඳහන් කරන Smith වැඩිදුරටත් පවසා සිටියේ ඔහු තමන් පිළිබඳ සෑහීමකට පත් වන බවයි. 

මේ වන විට දෙපිළට ම විවෘත වී ඇති තුන් වැනි අළුබඳුන තරගයේ තෙවන දිනය අද (08) ආරම්භ වීමට නියමිතයි. 

2023 අළුබඳුන තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

FOX Cricket ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<