රුමේෂ් ලොව දෙවැනි තැනට!

65th Ostrava Golden Spike 2026

40
Rumesh Tharanga

රුමේෂ් තරංග ලෝක හෙල්ල විසි කිරීමේ ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයට පැමිණීමට සමත් වී තිබෙනවා.

මෙම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසු වන ජර්මනියේ Julian Webber ලකුණු 1360ක් ලබා ගැනීමට සමත් වී ඇති අතර, රුමේෂ් විසින් ලකුණු 1333ක් සමඟ දෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා.

එමෙන්ම ග්‍රෙනේඩාවේ Anderson Peters විසින් ලකුණු 1326ක් සමඟ තෙවැනි ස්ථානයට පත් වී තිබෙනවා. මේ අතර ඉන්දියාවේ Neeraj Chopra 05 වැනි ස්ථානයේ රැඳී සිටින්නේ ලකුණු 1308ක් සමඟයි.

ඔහු අවසන් වරට සහභාගී වූ තරගය ලෙස පසුගිය 16 වැනි දා චෙක් ජනරජයේ දී සහභාගී වූ Ostrava මලල ක්‍රීඩා උළෙල සටහන් වූ අතර, එහි දී ඔහු විසින් මීටර් 86.57ක දුරක් හෙල්ල විසි කිරීමට සමත් වුනා.

එමෙන්ම පසුගිය 04 වැනි දා ඔහු විසින් ඉතාලියේ පැවැත්වුණු Diamond League මලල ක්‍රීඩා තරගාවලියේ දී සිය පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස ඓතිහාසික මීටර් 92.62ක දුරක් හෙල්ල විසි කිරීමට ද සමත් වුනා.

මෙම වසරේ දී රුමේෂ් සිය උපරිමයට ළඟා වෙමින් ඉහළ දක්ෂතා දක්වමින් සිටින අතර, හෙට (19) ඔහු Doha Diamond League මලල ක්‍රීඩා තරග අදියරට සහභාගී වීමට සූදානමින් සිටිනවා.

හෙට ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රි 11.14ට රුමේෂ් සහභාගී වන තරගය පැවැත්වීමට නියමිත අතර, මෙම තරගයට Neeraj Chopra, Anderson Peters වැනි සුපිරි තරු රැසක් සහභාගී වීමට නියමිතයි.

එම තරග විස්තර ද ඇතුළුව දෙස්, විදෙස් මලල ක්‍රීඩාව පිළිබඳ සවිස්තරාත්මක තතු විත්ති ඔබ හමුවේ තැබීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>