ජීවගුණය ඉල්ලන අඬන බබාලා

The Ashes 2023

922

අළුබඳුන ක්‍රිකට් ගැටුම සර්ව සම්පූර්ණ වෙන්න නම් එංගලන්ත – ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම් දෙක විතරක් නෙවෙයි, මේ රටවල් දෙකේ ම මාධ්‍ය ආයතනත් කරළියට බහින්න අවශ්‍යයි.

2023 අළුබඳුන තරගාවලියටත් දැන් අන්න ඒ මාධ්‍ය අවධානය සෑහෙන්න තරමකින් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ ගැටුම ක්‍රිකට් පිටියෙන් එළියට ගිහින්. පසුගිය දවසක එංගලන්ත අග්‍රාමාත්‍ය Rishi Sunak පවා අළුබඳුන ගැන අදහස් පළ කරන තැනට ම දැන් කතාව දිග්ගැස්සිලා ඉවරයි.

මේ හැමදයක්ම ආරම්භ වුනේ මෙවර අළුබඳුන තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ පස්වැනි දිනයේ දී ඕස්ට්‍රේලියානු කඩුලු රකින ක්‍රීඩක Alex Carey විසින් සිදු කළ Jonny Bairstowගේ ස්ටම්ප් කිරීමෙන්.

ඒ සිදුවීම ගැන බොහෝ තොරතුරු පසුගිය දින කිහිපයේ ම කතාබහට ලක් වුනා.

එංගලන්ත – ඕස්ට්‍රේලියා ක්‍රිකට් ගැටුමට අළුබඳුන කියන නම යෙදෙන්නේ ම එංගලන්ත පුවත්පතක් නිසා. ඒ වගේ ම අළුබඳුන තරගාවලිය නිසා දෙරටේ පත්තර කන්තෝරු ඇවිළෙන්න පටන් ගත්තෙත් අදක ඊයේක ඉඳන් නෙවෙයි.

ඒකත් අළුබඳුන තරගාවලිය සමඟම බැඳුණු සංස්කෘතික ලක්ෂණයක් වගේ දෙයක්. එක් පාර්ශවයකින් අනෙක් පාර්ශවයට වාචික ප්‍රහාර එල්ල කරනවා. අනිත් පැත්තෙන් ඒ ප්‍රහාර වලට ප්‍රතිප්‍රහාර එල්ල කරනවා. මේකත් එක්තරා විදිහක නිල නොළත් සටනක්.

සාමාන්‍යයෙන් මේ රටවල් දෙකට සංචාරය කරන ඕනෑම ප්‍රතිවාදී කණ්ඩායමකට ඒ රටවල් දේකේ ම මාධ්‍යවලින් විශේෂ අවධානයක් ලැබෙනවා. සමහර තැන්වල දී ඔවුන් ගැන විවේචනාත්මක සඳහන් කිරීම් පවා අහන්න දකින්න ලැබෙනවා. එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව කියන ප්‍රතිවාදීන් මේ සඳහා සම්බන්ධ වෙද්දී මේ මාධ්‍ය ආයතන තවත් වැඩියෙන් තමන්ගේ අවධානය ඒ වෙනුවෙන් ලබා දෙනවා.

ඒ නිසා Careyගේ දුවද්දී දැවී යාම මේ හැම සිදුවීමකට ම මුල කියලා කිව්වොත් ඒක බොරුවක්. නමුත් Careyගේ මේ දවා ගැනීම මේ සටන සෑහෙන්න රසවත් කළා.

මේ ඒ සඳහා උදාහරණ කිහිපයක්:

Bairstowගේ දැවී යාම ඒ තරගයේ එංගලන්තය පරාජය වෙන්න ප්‍රධානතම හේතුවක් බව සඳහන් කරන්න පුළුවන්. ඒ නිසාම එංගලන්තයට මේ දවා ගැනීම දකින වාරයක් පාසා ඇහැට කටු අනිනවා වගේ දැනුණා නම් ඒ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.

“Pat Cummins තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී පුටුවක වාඩි වෙලා, තමන්ගේ භාජනයෙන් සතයක් උදුරා ගැනීමට වෑයම් කළ දරුවකු මෙන් ලැජ්ජාශීලී ව සිනාසෙමින් සිටියා.

ඔහු ටෙස්ට් තරගය ජයග්‍රහණය කළත්, තමන්ගේ කීර්ති නාමය නැති කර ගත් ඔබ ඔහුට අවබෝධ වී තිබුණේ නැහැ.”

එංගලන්තයේ Daily Mail පුවත්පත මඟින් Cummins පිළිබඳ සිය විවේචනය ඉදිරිපත් කිරීම ආරම්භ කලේ ඒ ආකරයෙනුයි.

පසුව ඔවුන් විසින් එම දැවී යාම “මන්කාද්” දැවී යාම තරම් මතභේදකාරී එකක් බව ද සඳහන් කරමින් පවසන්නේ මෙය ක්‍රීඩාවේ ආචාරධර්මවල උච්චතම අවස්ථාවට නිගරු කිරීමක් ලෙසයි. එමෙන්ම ඔවුන් අතීතයේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Trevor Chappell විසින් නවසීලන්තය සමඟ පැවති තරගයක දී අත යටින් සිය පන්දුව යොමු කර තරගය නිමා කිරීමේ සිදුවීම සමඟ ද මෙම දවා ගැනීම සමාන කර තිබුණා.

“Cummins සහ ඕස්ට්‍රේලියාව ඉතිහාසය නැවත සකස් කළා. ඔවුන් මේ පාර යටි අත්පන්දු යැවීම වෙනුවට (Underarm) යටි අතින් පන්දුව යොමු කිරීම (Underhanded) තෝරා ගත්තා.

Cummins ඉරිදා (02) වංචාවක් සිදු නොකරන්න ඇති. නමුත් Bairstowගේ කඩුල්ල බිඳ හෙළූ විට නිවැරදි තීරණය ගැනීමට ඔහු බිය වුනා. ඒ මොහොතේ ඔහුගෙන් දිස් වුනේ දුර්වල, සිතා ගත නොහැකි සහ භීතියට පත් වූ නායකයකුගේ පෙනුමයි.

ඔහු නායකයකු ලෙස පෙනුණේ නැහැ, ඔහුට ඉතා ඛේදජනක පෙනුමකුයි තිබුණේ.

තවත් එංගලන්ත පුවත්පතක් වන The Telegraph විසින් මෙම සිදුවීම නිසා ඕස්ට්‍රේලියාව සිය ගෞරවය කෙලෙසාගත් බව සඳහන් කරමින් ලිපියක් පල කරනවා.

“Sandpaper-gate සිදුවීමෙන් පසුව ඕස්ට්‍රේලියාව ප්‍රතිනිර්මාණය කර ගත් විශ්වසනීයත්වය නැති වී ගියා. අවස්ථාවාදී සහ යටි උපක්‍රම අතින් ඕස්ට්‍රේලියාව තමන්ගේ ම පන්තියක රැඳිලා ඉන්නේ.”

ඒ වගේම මෙම සිදුවීම නිසා කෝපාවිෂ්ට වූ එංගලන්ත ක්‍රිකට් රසිකයින්ගේ ඇස් වලින් ගැලවෙන්න තමන්ගේ සෙවණැල්ලෙන් පවා සැඟවී සිටීමට ඕස්ට්‍රේලියාවට සිදුව ඇති බවයි එම පුවත්පත විසින් සඳහන් කරන්නේ.

Telegraph පුවත්පතට එක ලිපියකින් පමණක් තමන්ගේ විස්සෝපය නිවා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන් තවත් ලිපියක් පළ කරමින් මෙවැනි ක්‍රියා ඕස්ට්‍රේලියාව වැනි ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ජාතියකට නුසුදුසු බව ද සඳහන් කරනවා.

“ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන්ට මේ සිදුවීම සම්බන්ධයෙන් ඔවුන්ගේ අප්‍රසාදය පළ කිරීමට හැකියාව තියෙනවා, නැතිනම් එය අනුමත කළ හැකියි.

දෙවැනි තීරණයෙන් (අනුමත කිරීමෙන්) ලෝඩ්ස් පිටියේ දී ප්‍රේක්ෂකයින් විසින් ඕස්ට්‍රේලියාවට උසුළු විසුළු කිරීම අතිශය සාධාරණ බව තහවුරු වේවි.”

මේ අතර තවත් එංගලන්ත පුවත්පත් කිහිපයක් විසින් ම මෙම සිදුවීම අප්‍රසාදයෙන් යුතු ව හෙළා දැක තිබුණා.

ඒ අතර Daily Express විසින් මෙම දවා ගැනීම නිසා ” ක්‍රීඩාවේ ජීවගුණය අළු බවට පත් වුනා” යනුවෙන් සඳහන් කරද්දී, Daily Mail හි සිරස්තල ‘අපකීර්තියක්’ යනුවෙන් සැකසී තිබුණා. ඒ අතරේ Star Sport පුවත්පත මඟින් “පරණ ඕස්ට්‍රේලියානුවන්” නැවත කරළියට පැමිණ ඇති බව සඳහන් කරමින් පුවත් පළ කළා.

අළුබඳුන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය නිමා වුනේ පසුගිය ඉරිදා (02). ඒ අනුව අලුත් සතියක ආරම්භය ගන්න එංගලන්ත මාධ්‍ය වලට තිබුණු විශාලතම සිරස්තල වුනේ මේ අළුබඳුන සිදුවීම. ඔවුන් බහුතරයක් විසින් මේ සිදුවීම විවේචනය කරද්දී තවත් කිහිප දෙනෙක් විසින් මේ සිදුවීම පිළිබඳ තරමක් හෝ සාධාරණ වෙන්න උත්සාහ කිරීම විශේෂත්වයක්.

BBCය වෙනුවෙන් මේ ගැන කතා කරන Jonathan Agnew කියන්නේ ඕස්ට්‍රේලියාව මෙම දවා ගැනීමට පෙර Bairstowට අනතුරු ඇඟවුවා නම් හොඳයි කියලා. ඒ අතරේ Daily Mail වෙත අදහස් දක්වපු David Lloyd කියන්නේ තමන් ඕස්ට්‍රේලියාව පාර්ශ්වයේ සිටියා නම් නැවත Bairstow හට පිතිකරණයේ යෙදෙන්න ආරාධනා කරනවා කියලා.

“Pat Cummins සහ ඕස්ට්‍රේලියාව ‘අපි ඔබව නිසි ආකාරයෙන් දව ගන්නවා’ කියලා නොසිතීම මාව පුදුම කළා.

ඔවුන් හොඳ කණ්ඩායමක්. ඔවුන්ට එය කළ හැකි ව තිබුණා. නමුත් අනිත් අතට අළුබඳුන කියන්නේ අනිත් හැම දේකට ම වඩා විශාල එදිරිවාදිකමක්.”

හිටපු එංගලන්ත නායකයින් විසින් මේ සිදුවීම ගැන දරන්නේ වෙනස් ම අදහසක්.

“මම මේ සිදුවීමට ක්‍රීඩාවේ ජීවගුණය කතාව ඇදලා ගන්නේ නැහැ. සීමා ඉරෙන් ඉවත් නොවී ඉන්න, ඒක පාඩමක්.”

හිටපු එංගලන්ත නායක Nassar Hussain ඒ ගැන එහෙම කියද්දී තවත් නායකයකු වුන Andrew Strauss විසින් The Telegraph පුවත්පතට කියන්නේ “ඒ දවා ගැනීමේ කිසිම වරදක් නැහැ” කියලා. ඒ අතරේ Michael Vaughan කියන්නෙත් ඕස්ට්‍රේලියාව නිවැරදියි කියලා.

Vaughan ඕස්ට්‍රේලියාව නිවැරදි බව කියමින් එංගලන්ත කණ්ඩායමට දරුණු විවේචනයක් ඉදිරිපත් කරනවා.

“ලෝඩ්ස් තරගයේ බොහෝ අවස්ථා වල ඔවුන්ගේ (එංගලන්තයේ) පිතිකරණය නොසැලකිලිමත් සහ මෝඩයි.

සති දෙකක් තුළ දෙවතාවක් අපි දුටුවා එංගලන්තය සමහර වෙලාවට හොඳින් ක්‍රීඩා කරනවා. නමුත් තවත් වෙලාවකට මොළය මැරුණු අය වගේ ඕස්ට්‍රේලියාවට තරගයට අවතීර්ණ වෙන්න ඉඩ ලබා දුන්නා.”

මේ අතරේ එංගලන්තයේ The Guardian පුවත්පත විසින් එංගලන්ත ක්‍රීඩකයින් කුඩා ළමයින් මෙන් ක්‍රීඩා කළ බව පවසමින් එංගලන්තය දෙසට ම ඇඟිල්ල දිගු කරනවා.

“ඕස්ට්‍රේලියාව වැඩිහිටියන් සේ පිතිකරණයේ යෙදුණා. එංගලන්තය පිතිකරණයේ යෙදුණේ කුඩා දරුවන් වගේ.”

දැන් එංගලන්ත පුවත්පත් විසින් සිදු කළ මෙම විවේචන වෙනුවෙන් ඕස්ට්‍රේලියාවෙන් පිළිතුරු ලැබෙන්න පටන් ගන්නවා. ඒ වෙද්දී එංගලන්ත නායක Ben Stokes විසින් තමන් නම් Cummins ගත්තා වගේ තීරණයක් කවමදාවත් නොගන්නා බව සඳහන් කරමින් තරමක් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරලා තිබුණා. ඒ නිසා ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ඉලක්කය වුනේ එංගලන්ත නායකයා.

මේ අතරින් මුලු ලෝකයේ ම අවධානය දිනා ගන්න සමත් වුනේ The Western Australian පුවත්පත විසින්. ඔවුන් විසින් Stokesගේ මුහුණ හඬමින් සිටින ළදරුවකුගේ (Cry baby) ශරීරයකට සම්බන්ධ කරමින් පවසන්නේ එංගලන්තය සිය වංචාකාරී ක්‍රීඩාව වෙනස් ම තලයකට රැගෙන යාමට උත්සාහ දරන බව.

මේ අතරේ Ben Stokes විසින් සිදු කළ ප්‍රකාශය බ්‍රිතාන්‍ය අගමැති Rishi Sunak විසින් අනුමත කර තිබුණා. ඒ වගේ ම එංගලන්ත රූපවාහිනී නිවේදකයෙකු වන Piers Morgan විසින් ද ඕස්ට්‍රේලියානු ක්‍රීඩා විලාශය විවේචන කරලා තිබුණා. හිටපු එංගලන්ත ක්‍රීඩකයකු වන Geoffrey Boycott විසින් සඳහන් කර තිබුණේ ඕස්ට්‍රේලියාව විසින් මෙම සිදුවීම වෙනුවෙන් එංගලන්තයෙන් සමාව ඇයද සිටිය යුතු බවයි.

Western Australian පුවත්පත විසින් පාදක කර ගත්තු “අඬන බබා” උධෘතය තවත් සමාජ ගත කිරීමට තීරණය කරපු The Daily Telegraph ඕස්ට්‍රේලියානු පුවත්පත විසින් ඉහත නම් සඳහන් කළ Stokes, Sunak, Boycott සහ Morgan සිව් දෙනාවම ළදරුවන්ගේ ශරීර වලට සම්බන්ධ කරමින් තවත් ප්‍රවෘත්තියක් පළ කරන්නේ මේ අතරතුරේ දීයි.

කෙසේ වෙතත් Western Australian පුවත්පත විසින් සටහන් කළ ප්‍රවෘත්තිය උපුටා දැක්වූ Stokes විසින් එයට උපහාසාත්මක පිළිතුරක් ලබා දී තිබුණා.

“මේ නම් අනිවාර්යයෙන් ම මම නෙවෙයි. මම කවද්ද නව පන්දුවෙන් පන්දු යැවුවේ?”

මේ අතර ඕස්ට්‍රේලියානු මාධ්‍ය මේ පිළිබඳ කතාබහක් නිර්මාණය කිරීමටත් පෙර වික්ටෝරියා පොලිසිය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ තරම් උපහාසාත්මක යෙදුමකින් එංගලන්තයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම විශේෂත්වයක්.

“කොළ එළිය දැල්වීමට පෙර සීමා ඉරෙන් පිට වීමේ අන්තරාදායක බව සැමට මතක් කර දීම සම්බන්ධයෙන් අපි Jonny Bairstow හට ස්තුතිවන්ත වෙනවා.”

එංගලන්තය බොහෝ සිත් රිදීමෙන් යුතු ව අළුබඳුනේ සිදුවීම පිළිබඳ කතාබහක් ගොඩ නැගීමට උත්සාහ කළත් ඕස්ට්‍රේලියාව විසින් එයට තරමක හාස්‍යජනක මුහුණුවරක් ලබා දෙන්න නිරන්තරයෙන් උත්සාහ කිරීම කැපී පෙනුණා.

“MCC Fight Club හි පළමු රීතිය තමයි ක්‍රීඩාවේ නීති දැන ගෙන සිටීම.

මම හිතුවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත් ම ප්‍රසිද්ධ ක්‍රීඩා සමාජයක සාමාජිකත්වය ලැබෙද්දී ඔබ ක්‍රීඩාවේ නීති වටහා ගන්නවා කියලයි.”

ලෝ ප්‍රකට Fight Club සිනමාපටයේ ප්‍රසිද්ධ දෙබසක් ද ඈඳා ගත් The Sydney Morning Herald පුවත්පතේ Andrew Webster විසින් එම තරගය අතර මැද ඝෝෂාකාරී ලෙස හැසිරුණු MCC සාමාජිකයින් ව එසේ විවේචනය කර තිබුණා.

තරගය දිවා ආහාරය වෙනුවෙන් නතර කල මොහොතේ Usman Khawajaට වාචික ප්‍රහාර එල්ල කළ MCC සාමාජිකයින් අරභයා ඔහු එසේ ලියද්දී තවත් ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදියෙකු වන Gideon Haigh විසින් The Times පුවත්පතට ලියන්නේ ද MCC සාමාජිකයින් සිය නීති පිළිබඳ හොඳින් දැන ගෙන සිටිය යුතු බවයි.

එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් එංගලන්තය විසින් සිදු කරන ප්‍රධාන චෝදනාව වන “ක්‍රීඩාවේ ජීවගුණය” නම් තර්කය හිටපු ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නකු වන Jason Gillespie විසින් සහමුලින්ම බිඳ හෙළනවා.

“මම නම් විශ්වාස කරන්නේ ක්‍රීඩාවේ ජීවගුණය රැකෙන්නේ ක්‍රීඩාවේ නීති වලට අනුකූලව ක්‍රීඩා කිරීමෙන් බවයි.”

දෙවැනි අළුබඳුන තරගය නිමා වෙලා මේ වන විට දින කිහිපයක් ම ගෙවී ගොස් තිබුනත් තවමත් ඒ පිළිබඳ උණුසුම වියැකී ගොස් නැති තරම්. ඒ අතරම අළුබඳුන තරගාවලියේ තෙවන තරගයත් බ්‍රහස්පතින්දා (06) ආරම්භ වුනා. ඒ තරගය සමඟ මෙම සංවාද වලට නව ජීවයක් ලැබේවි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්.

කෙසේ වෙතත් දෙරටේ ම මාධ්‍ය මගින් ක්‍රීඩාවේ ආචාරධර්ම ගැන විශාල උනන්දුවකින් කතා කලත්, තමන්ගේ වෘත්තීය ආචාරධර්ම පද්ධතිය වෙනුවෙන් මොන තරම් අවධානයක් යොමු කළා ද කියන එක නම් උත්තර නැති ගැට‍ළුවක්.

නමුත් ඒ කිසිම දෙයක් පිළිබඳ තැකීමක් නොකරන මේ මාධ්‍ය ආයතනවලට තෙවැනි අළුබඳුන තරගය නිසා කිසිම විවේකයක් නොගෙනම නැවතත් සිය ද්වන්ද සංග්‍රාමයට පිවිසීමට සිදු වෙන බව නම් වටහා ගන්න පුළුවන්. ඒ පිළිබඳ සියලු යාවත්කාලීන වීම් ඔබ වෙත රැගෙන එන්න ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<