තලා පන්නරය ලැබූ හැටි!

1762

හිමාලයේ කුමාඔන් කඳුකර පෙදෙසේ අල්මෝරා’හි තලාසාලම් කියලා ගම්මානයක් පිහිටලා තියනවා.

මේ ගමේ වැසියන් ගත කළේ ඉතාම අසීරු, දුක්ඛිත ජීවිතයක්. තලාසාලම් කියන ගම්මානයට ළඟා වන්නට බස් රථයක්වත් තිබුණේ නැහැ. ඒ නිසා රළු පාෂාණ, කඳු ඔස්සේ පයින් ගමන් කිරීම හැර වෙනත් විකල්පයක් මෙහි ගම්වාසීන්ට තිබුණේ නැහැ.

තලාසාලම් ගම්මානයේ වෙසෙන ගැමියෝ ඉතාම ශක්තිවන්තයින් බවට නම් සැකයක් තිබුණේ නැහැ. ජීවිතය දුෂ්කර වන තරමට ඔවුන් ශක්තිවන්තයින් වුනා. ඉතා වෙහෙසකර ක්‍රියාදාමයන් ඉතාම පහසුවෙන් ඉටු කරළීමේ හැකියාව ඔවුන්ට තිබුණා.

මේ ගම්මානයේ විසූ පාන් සිං නම් තරුණයාගේ ජීවන රටාව ද සෙසු ගැමියන්ගෙන් වෙනස් වුනේ නැහැ. කෙතරම් දුෂ්කර පරිසරයක උපත ලැබුවත් ඔහුට ශක්තිමත්, නිරෝගී ජාන උප්පත්තියෙන්ම ලැබිලා තිබුණා.

මේ ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු ඉතාම දුෂ්කර වුනා විතරක් නෙවෙයි කිසිම ලාභයක් ලබා නොදෙන ජීවිකාවක් වුනා. කුඩා අධ්‍යාපනයකින් සන්නද්ධ නමුත් විශාල අධිෂ්ඨානයක් ඇති පාන් සිං එක්තරා කාලයක වාසනාව සොයා තලාසාලම් ගම්මානයෙන් නික්මෙන්න තීරණය කළා. මේ අපි කියන්නේ හැටේ දශකය මැද කාලය ගැන.

රැකියාවක් සොයමින් පළමුව ලක්නව් වෙත ගිය ඔහු

එතැන් සිට ඔහු රට හරහා ගොස් බිහාර් හි බොකාරෝ වෙත ගියා.

මේ සමයේ හින්දුස්ථාන් ස්ටීල් ලිමිටඩ් සමාගම නව වානේ කම්හලක් ඉදි කරමින් සිටියා. එහි රංවි නගරයේ පිහිටා තිබූ ලෝහමය සහ ඉංජිනේරු උපදේශක සමාගමේ සුළු රැකියාවක් සොයා ගන්නට පාන් සිං සමත් වුනා.

දෛනික වැටුප් මත නුපුහුණු සේවකයෙකු ලෙස රැකියාව භාර ගත් පාන් සිං විශ්‍රාම ගියේ එම සමාගමේ වැඩ අධක්ෂකවරයෙකු ලෙස.

1969 අවුරුද්දේ පාන් සිංගේ ජීවිතයේ තීරණාත්මක අවුරුද්දක්. ඔහු නයිනිතාල්හි දේව්කි දේවි සමඟ විවාහ වුනේ හැටනමය අවුරුද්දේ.

පාන් සිං සහ දේවකි දේවි

පාන් සිංට සහ දේවකිට දාව පිරිමි දරුවෙකු 1981 වසරේ ජුලි 7 වැනිදා උපත ලබනවා. මේක තමන්ගේ ජීවිත සහමුලින්ම වෙනස් කරන දරු උපතක් කියලා ඒ දෙන්නා දෙමහල්ලෝ එදා හිතන්න නැතුව ඇති.

මේ කුඩා දරුවාට නම තැබෙන්නේ මහේන්ද්‍ර සිං දෝනි යනුවෙන්.

පොම්ප ක්‍රියාකරුවෙකු ලෙස පාන් සිංගේ රාජකාරියේ එක කොටසක් තමයි DAV ජවහර් විද්‍යා මන්දිර් පාසල පිහිටි ශ්‍යාමලී ජනපදයට ජලය සැපයීම. හැමෝම ‘මහි’ කියලා ආදරයට හඳුන්වපු පාන් සිංගේ පුත්‍රයා මහේන්ද්‍ර සිං දෝනි ඉගෙන ගත්තේත් මේ පාසලේ.

1984 අවුරුද්දේ නොවැම්බර් මාසයේ බිහාර් සහ ඔරිස්සා අතර පැවති රංජි කුසලාන තරගය සඳහා රංචි’හි මෙකොන් ක්‍රීඩාංගණයේ තණතිල්ලට ප්‍රමාණවත් ජල සැපයුමක් සහතික කිරීම ක්‍රිකට් සම්බන්ධයෙන් පාන් සිංගේ මුල්ම අත්දැකීම වුනා.

හරියාකාරයෙන් තෙතමනය නොලැබුණා නම් ක්‍රීඩාංගණයේ තණකොළ වියළී යාමට ඉඩ තිබුණා. ඊට දින කිහිපයකට පෙර ඉන්දීය අගමැතිනිය ඉන්දිරා ගාන්ධි ඝාතනය කිරීම හේතුවෙන් ඇඳිරි නීතිය පනවා තිබූ නිසා පාන් සිංගේ තත්ත්වය තවත් දුෂ්කර කර තිබුණා.

දෛවයේ සරදමකට මෙන් පාන් සිංගේ පුත්‍රයා මහී පහුකාලෙක ක්‍රිකට් ක්‍රීඩාවෙන් බැබලෙන්නට පටන් ගත්තේ මේ ක්‍රීඩාංගණයේ දී.

DAV ජවහර් විද්‍යා මන්දිර් පාසලේ අකුරු කළ මහී ක්‍රීඩාවට, හොකී, ටේබල් ටෙනිස්, බැඩ්මින්ටන් සහ පාපන්දු ගෝල රකින්නෙක් ලෙස දස්කම් පෑවා.

ක්‍රීඩාවන් රැසකට සම්බන්ධ වෙලා හිටියත් මහීට වැඩිම ප්‍රසිද්ධියක් තිබුණේ පාසල් පාපන්දු කණ්ඩායමේ දැල් රකින්නා විදියට.

කුඩා මහීගේ ක්‍රීඩා ජීවිතය සම්පූර්ණයෙන්ම උඩුකුරු වන්නේ දිනක් කේශව් බැනර්ජී නම් පුහුණුකරුවා මුණගැහීමෙන්. DAV ජවහර් විද්‍යා මන්දිර් ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින්නෙකුගේ පුරප්පාඩුවක් ඇති බව සිටි පුහුණුකරුවා මහී ඒ වෙනුවෙන් තෝරා ගන්නවා.

ඔහු ඒ අවස්ථාවේ දී ගන්නට සැරසෙන්නේ ලෝක ක්‍රිකට් ඉතිහාසය සම්පූර්ණයෙන්ම වෙනස් කරන තීරණයක් බව බැනර්ජි අචාර්යවරයා එවලේ දැනගෙන හිටියේ නැහැ.

ක්‍රීඩා ආචාර්යවරයා ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්නට, කඩුලු රැකීමේ යෙදෙන්නට කැමති දැයි මහීගෙන් විමසා සිටියත් ඔහු ඊට කැමති වන්නේ තරමක අකමැත්තකින් සහ අදිමදි කිරීමකින් පස්සේ.

ක්‍රීඩා ආචාර්යවරයාගේ තර්කය වුනේ පාපන්දු ක්‍රීඩාවේ ගෝල රකින්නෙකුට ඉතා පහසුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ කඩුලු රැකීමට අනුගත විය හැකි බවක්.

සියල්ලන් මවිතයට පත් කළේ මහීගේ වේගවත් පිතිහරඹය. පරම්පරාගත සවිමත් ජානවල බලපෑම ඒ හැම පහරකම තිබුණා. කුඩා මහී තාක්ෂණානුකූල, ස්වාභාවික කඩුලු රකින්නෙකු නොවුනත් කඩුල්ල පිටුපස විශ්වාසය තැබිය හැකි ක්‍රීඩකයෙක් වුනා.

මහේන්ද්‍ර සිං දෝනි කුඩා අවධියේ ගත් ඡායාරූපයක්

මහී මුල්ම වතාවට කඩුලු රකින්නාගේ අත්වැසුම් පැලඳ ක්‍රීඩා කළේ 1994 අවුරුද්දේ. ඒ වසරක කාලයක දැඩි පුහුණුවීම්වලට පස්සේ.

පාපන්දු ක්‍රීඩාවෙන් සමුගෙන ක්‍රිකට් ක්‍රීඩාවට අවධානය යොමු කර වසර තුනකට පසු ඔහු පාසල් තරගය දී පන්දු 150ක දී හතරේ පහර 26ක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 213ක ඉනිමක් ක්‍රීඩා කළා. මේ ඉනිම බොහෝ දෙනෙකු ගේ ඇස් ඇරවන්නක් වුනා.

මහී අධ්‍යාපනයට ඒ තරම් දක්ෂ දරුවෙකු වුනේ නැහැ. නමුත් ඔහුගේ දෙමාපියන් ඒ ගැන විශාල තැකීමක් කළෙත් නැහැ. දවසෙන් වැඩි හරියක් ක්‍රිකට් ගහන මහී අධ්‍යාපනයෙන් ඉහළට යයි කියලා ඔවුන් හිතුවේ නෑ.

උදේ 7.30ට පාසලට යෑමත් හවස 1.30ට ගෙදරට පැමිණ යමක් බඩට දමාගෙන පුහුණුවීම්වලට දිවයෑමත් මහීගේ දෛනික ජීවිතයේ කොටසක් වුනා.

සිය පාසල් කණ්ඩායමේ සගයින් සමඟ මහේන්ද්‍ර සිං දෝනි

කුඩා මහීගේ ප්‍රියතම ක්‍රීඩකයා වුනේ සචින් තෙන්දුල්කාර්. 1992 ඕස්ට්‍රේලියාවේ පැවති ලෝක කුසලාන තරගාවලිය අතරතුර, වේලාසනින් නැගිට තෙන්දුල්කාර් පිතිකරණයේ යෙදෙන ආකාරය නැරඹීමට සහ පසුව ඔහු දැවී ගිය විට නැවත නින්දට ගියා. මහී පස්සේ කාලෙක තමන්ගේ කුඩා කාලයේ වීරයා සමග ක්‍රීඩා කළා විතරක් නෙවෙයි ඔහුට නායකත්වය පවා දුන්නා.

මහීගේ පියා දැඩි විනයගරුක මනුස්සයෙක් වෙච්ච නිසා කුඩා මහී තමන්ගේ තාත්තාට සෑහෙන බියක් දැක්වුවා. හැබැයි ඔහුගේ මව වඩාත් මිත්‍රශීලී කාන්තාවක් වුනා. නිරන්තරයෙන්ම මහී ක්‍රීඩාව වෙනුවෙන් දිරිමත් කරන්නට ඉදිරියෙන්ම සිටියේත් ඔහුගේ මව දේවකී.

ඉතාම පහළ තැනකින් ජීවිතය ඇරඹූ මහේන්ද්‍ර සිං දෝනි එහෙමත් නැත්නම් මහී, අද අපේ කතා නායකයා ඉන්දියාවට ක්‍රිකට් ලෝකයේ ඇති සියලුම ගෞරව දිනාදෙන ගමන් මුළු ලෝකයක්ම තමන්ගේ වසඟයට ගත් ආකාරය ඇත්තටම අපූරු කතාවක්. ඒ හැම පියවරක් පිටිපස්සෙම ඈත හිමාල කඳුකරයේ ජිවත් වන ශක්තිමත් ජන කොටසකගේ ස්වරූපය ඉතිරි වී තිබුණා.

Gulu Ezekiel ගේ Captain Cool: The M.S. Dhoni Story ග්‍රන්ථය ඇසුරෙනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<