Tamim ගිය පයින් ආපසු එයි!

9145

බංග්ලාදේශය විසින් බිහි කළ විශිෂ්ටතම ආරම්භක පිතිකරුවෙකු වන Tamim Iqbal විසින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට ගත් තීරණය නැවත හරවා ගැනීමට පියවර ගෙන තිබෙනවා.

මේ දිනවල ඇෆ්ගනිස්තානය සමඟ බංග්ලාදේශය ක්‍රීඩා කරන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට (05 වැනිදා) ක්‍රීඩා කිරීමෙන් පසු ඊයේ (06) දිනයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් Tamim Iqbal විසින් ප්‍රකාශ කළේ තමන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවයි.

ඒ වන විටත් බංග්ලාදේශ එක්දින නායකත්වය පවා දැරූ Iqbal විසින් කිසිවකු හෝ නොසිතූ මොහොතක අතිශය සංවේදී වෙමින් ප්‍රකාශ කළ මෙම තීරණය ඊයේ දිනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රජාවේ ප්‍රධානතම මාතෘකාව බවට ද පත්වුනා.

නමුත් මෙම තීරණය ගැනීමෙන් පසුව අද (07) දිනයේ දී ඔහු සහ ඔහුගේ බිරිඳ බංග්ලාදේශය අගමැතිනිය සමඟ සාකච්ඡාවකට සහභාගී වී තිබෙනවා. අග්‍රාමාත්‍ය නිල නිවසේ පැවැත්වුණු එම සාකච්ඡාවට ඔවුන්ට අමතරව බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති Nazmul Hassan සහ හිටපු බංග්ලාදේශ ක්‍රිකට් නායක Mashrafe Mortaza ද එකතු වී ඇති බවයි දැන ගන්නට ලැබෙන්නේ.

එම සාකච්ඡාවෙන් අනතුරුව බංග්ලාදේශ අගමැතිනිය Sheikh Hasinaගේ ඉල්ලීම පරිදි Tamim විසින් නැවතත් සිය සමුගැනීමේ තීරණය ඉල්ලා අස්කර ගැනීමට පෙලඹී ඇති බවයි බංගලාදේශ පුවත්පතක් වන Dhaka Tribune විසින් වාර්තා කරන්නේ.

නමුත් ඔහු නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට පෙර තවත් මාස එක හමාරක පමණ විවේකයක් ගනු ඇති බවත්, ඒ අනුව එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඔහු නැවතත් බංගලාදේශ කණ්ඩායම සමඟ එක් වනු ඇති බව ද බංග්ලාදේශයෙන් වාර්තා වනවා.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<