අළුබඳුනේ උණුසුම එංගලන්ත අගමැති පුටුවටත් දැනෙයි!

The Ashes 2023

931

පසුගිය දා නිමා වූ 2023 අළුබඳුන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Alex Carey විසින් එංගලන්තයේ Jonny Bairstowව ස්ටම්ප් කිරීමකට හසු කර ගැනීමේ සිදුවීමේ උණුසුම තවමත් පහව ගොස් නැහැ.

තරගයේ 5 වැනි දිනයේ දිවා ආහාරයට පෙර එංගලන්තය වෙනුවෙන් පිතිකරණයේ යෙදෙමින් සිටි Jonny Bairstow හට Cameron Green විසින් යොමු කළ පන්දුවක් නිදැල්ලේ ගොස් ඕස්ට්‍රේලියානු කඩුලු රකින්නා වන Carey අතේ රැඳුණා.

එය එංගලන්ත ඉනිමේ 52 වැනි පන්දුවාරයේ අවසන් පන්දුව වූ නිසා පන්දුවාරය අවසන් වූ බව සිතූ Bairstow විසින් කිසිදු පෙර විමසීමකින් තොරව ම කඩුල්ලෙන් ඉවත් වුනා. ඒ අතරේ ම කඩුල්ල පිටුපස සිටි Carey විසින් සිය අතේ රැඳුණු පන්දුව කෙළින්ම කඩුල්ල වෙත යොමු කළ අතර Bairstowව ස්ටම්ප් කිරීමට හසු කර ගැනීමට Carey විසින් එසේ සමත් වුනා.

ඉතාමත් සුළු කාලයක් ඇතුළත වූ මෙම සිදුවීම එතැන් පටන් ක්‍රිකට් ලොව ප්‍රධානතම මාතෘකාව බවට පත් වූ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් දෙපසට බෙදුණු පිරිස් ඒ වෙනුවෙන් විවිධ තර්ක ඉදිරිපත් කිරීමට පටන් ගත්තා.

මේ අතරේ එංගලන්ත නායක Ben Stokes විසින් තරගයෙන් අනතුරුව සඳහන් කළේ එය ක්‍රීඩාවේ ජීවගුණය හා සම්බන්ධ ගැට‍ළුවක් බව සහ තමන් ට එම තීරණය ගැනීමට සිදු වුනා නම් අනිවාර්යයෙන් ම එවන් දැවී යාමක් වෙනුවෙන් ඉල්ලීම් නොකරන බවයි.

මේ අතර එක්සත් රාජධානියේ අගමැති Rishi Sunak විසින් Ben Stokesගේ අදහස සමඟ එකඟ වෙමින් ඕස්ට්‍රේලියාව විසින් ක්‍රීඩාවේ ජීවගුණයට හානි කළ බව සඳහන් කරමින් එංගලන්ත පාර්ශවයට සිය සහය පළ කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානුවන්ගේ මෙම ක්‍රියාව ක්‍රීඩාවේ ජීවගුණයට හානියක් සිදු කළ බව Sunak විසින් විශ්වාස කරන්නේ ද යන්න ඊයේ (03) අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශකයකුගෙන් විමසා තිබෙනවා. එවිට ඔහු ඒ වෙනුවෙන් “ඔව්” යැයි පිළිතුරු දෙමින් අගමැතිගේ මතය පිළිබඳ අදහස මෙසේ සඳහන් කර තිබෙනවා.

“අගමැතිවරයා Ben Stokes සමඟ එකඟ වෙනවා. ඕස්ට්‍රේලියාව කරා වගේ තරගයක් ජයග්‍රහණය කිරීමට තමාට අවශ්‍ය නොවන බව ඔහු ප්‍රකාශ කළා.”

එමෙන්ම එංගලන්තය මීළඟ ටෙස්ට් තරගයේ දී අළු ගසා දමමින් නැගී සිටිනු ඇති බව අගමැතිවරයා විසින් විශ්වාස කරන බවයි එම ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ.

මෙතෙක් මෙම ගැට‍ලුව පිළිබඳ කතා කරන අයෙක් ක්‍රීඩාවේ ජීව ගුණය පිළිබඳ සඳහන් කරන්නේ නම් ඔහු/ඇය එංගලන්ත පාර්ශවයට සහය දක්වන්නෙකු බව පහසුවෙන් හඳුනා ගත හැකි. කෙසේ වෙතත් ක්‍රිකට් ලොව බිහි වූ විශිෂ්ටතම තරග විනිසුරුවකු වන Simon Taufel නම් පවසන්නේ එය නිවැරදි විනිසුරු තීරණයක් බවයි.

“නිවැරදි තීරණය ගත්තා, නමුත් ඔවුන් (එංගලන්තය) ඒකට කැමති නැහැ. පන්දුවාරයෙන් පසු පන්දුව “මළ (Dead)” අවස්ථාවට පත්වීමට නම් කණ්ඩායම් දෙක ම එය නොසලකා හැරිය යුතුයි. නමුත් මෙහි දී පන්දු රැකීමේ අංශය එසේ කරලා තිබුණේ නැහැ.”

Taufel විසින් සිදුවීම අතිශය නිවැරදි ආකාරයෙන් කියවමින් මෙම ප්‍රකාශය සිදු කර ඇති නමුත් Bairstow විසින් පන්දුවාරය නිම වී ඇතැයි සිතමින් සීමා ඉරෙන් පිටවී ගිය නිසා තම දැවී යාමේ තීරණය භාර ගැනීමට එතරම් කැමැත්තක් දැක්වූවේ නැහැ.

එමෙන්ම එම අකමැත්ත Bairstowගෙන් පමණක් නොව තරගය පැවැත්වුණු ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පිරී සිටි එංගලන්ත කණ්ඩායමට සහය දක්වන ප්‍රේක්ෂකයින්ගෙන් පවා දැක ගැනීමට ලැබුණා. එම දැවී යාමේ පටන් අධික ඝෝෂාකාරී ලෙස හැසිරුණු ඔවුන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් වෙත විශාල පීඩනයක් එල්ල කිරීමට උත්සාහ ගත්තා.

නමුත් මෙම සිදුවීම තවත් උණුසුම් වුනේ තරගය දිවා ආහාරය වෙනුවෙන් නතර කිරීමෙන් පසු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් නැවතත් සිය ක්‍රීඩාගාරය වෙත පියනගන අතරතුරේ දීයී.

ක්‍රීඩාගාරයට පිවිසීමට යා යුතු Long Room ප්‍රදේශයේ සිටි එංගලන්ත සහයකයින් විසින් “වංචාවක්! වංචාවක්! (Cheat! Cheat!)” ලෙස පවසමින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් වෙත ලෙස කෑ ගැසූ බවයි දැන ගන්නට ලැබෙන්නේ.

එමෙන්ම ඒ අතරින් කිහිප දෙනෙකු විසින් (Marylebone ක්‍රිකට් සමාජයේ සාමාජිකයින්) ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Usman Khawaja සමඟ උණුසුම් වචන හුවමාරුවක් නිර්මාණය කර ගන්නා ආකාරය ද වීඩියෝ පට හරහා දකින්නට ලැබුණා.

පසුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම විසින් ඒ පිළිබඳ නිල වශයෙන් පැමිණිල්ලක් සිදු කර තිබූ අතර ඒ අනුව සිදුවීමට සම්බන්ධ යැයි සැක කෙරෙන MCC සාමාජිකයින් තිදෙනෙකු පිළිබඳ විමර්ශන ආරම්භ කළ බව MCCය විසින් සඳහන් කර තිබුණා.

මෙම සිදුවීමට යම් පිරිසක් විසින් සම්බන්ධ වූවත් තවත් MCC සාමාජිකයින් පිරිසක් විසින් මෙම ක්‍රියාව ඉතා පහත් මට්ටමේ හැසිරීමක් බව සඳහන් කිරීම විශේෂත්වයක්.

“අපි හැම විටම දෙපාර්ශවය වෙනුවෙන් ම ආචාරශීලීයි, ඒ වගේ ම සාධාරණ ලෙස හැසිරෙනවා. මෙම සමාජයට (Club) අයත් වීම විශාල වරප්‍රසාදයක් වන අතර අපි හැම දෙනා ම හැසිරිය යුතු ආකාරය ගැන හොඳින් දන්නවා.”

නමුත් ඔවුන් අතරින් පිරිසක් විසින් මෙහි භාරකරුවන් ලෙස හැසිරෙන බව සහ තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් පැවසිය හැකි බව විශ්වාස කරනා බවයි MCCය තුළින් ම දැන ගැනීමට ලැබෙන්නේ.

මේ අතර ඕස්ට්‍රේලියාවේ The Age පුවත්පත මගින් හෙළිදරව් කර තිබුණේ Long Room ප්‍රදේශය තුළ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් වෙත MCC සාමාජිකයින් විසින් එල්ල කළ වාග් ප්‍රහාර අතිශය පිළිකුල් සහගත සහ කම්පනයට පත් කරවන අන්දමේ ඒවා බව සිද්ධිය ඇසින් දුටු පිරිස් සඳහන් කරනා බවයි.

මෙම සිදුවීම සහ අළුබඳුන තරගාවලියේ සියලු නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapar.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<