ශ්‍රී ලංකා ක්‍රිකට් පිලෙන් තවත් ආබාධයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය 2020/21

209

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර ඊයේ (26) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ දී ධනංජය ද සිල්වා යම් ආබාධයකට ලක්වූ අතර අනතුරුව පැවති MRI පරීක්ෂණයෙන් පසුව ඔහුට සති දෙකක විවේකයක් අවශ්‍ය බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.

ශ්‍රී ලංකා ලකුණු සටහන 54/3ක් වැනි තැනක සිට ඉහළ මට්ටමකට රැගෙන ඒම සඳහා අවශ්‍ය අඩිතාලම සකස් කළ දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 131ක සබඳතාවයක් ගොඩනංවා තිබුණි. 

එසේ තිබිය දී කඩුලු අතර දුවමින් සිටි ධනංජය ද සිල්වා එක් වරම යම් ආබාධයකට ලක්වූයේ ඔහුගේ කලව ආශ්‍රිත මස් පිඩු ඇදීමක් නිසාවෙන් නමුත් ඔහුට එතැන් පටන් නැවතත් ඊයේ දිනය තුල පිතිකරණ සඳහා අවස්ථාවක් හිමි නොවූයේ ඔහු පිටියෙන් ඉවත්ව ගිය නිසාවෙනි.

තවත් ක්‍රිකට් පුවත්:

තරගයට පසුව ඔහුව MRI පරීක්ෂණයක් සඳහා යොමු කර තිබෙන අතර එහි දී ඔහුගේ වම්පාදයේ සිදු වූ කලව ආශ්‍රිත මස් පිඩු ඇදීම දෙවන මට්ටමේ ආබාධයක් බවට පත්ව තිබෙන නිසාවෙන් ඔහුට සති දෙකක් කාලයක් විවේක ගැනීමට අවශ්‍ය බවට වෛද්‍යවරුන් නිර්දේශ කිරීමත් සමඟ ඔහුට දකුණු අප්‍රිකාව සමඟින් පැවැත්වෙන පළමු සහ දෙවන ටෙස්ට් තරග දෙකම මඟ හැරී යනු ඇති අතර පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා දෙවන ඉනිම තුල ද ක්‍රීඩා කිරීමට ද සිල්වාට අවස්ථාවක් නොලැබීම ශ්‍රී ලංකාවට විශාල පාඩුවකි.

මීට අමතරව දකුණු අප්‍රිකාවට ගිය ශ්‍රී ලංකා සංචිතය තුල සිටින ඕෂද ප්‍රනාන්දු සහ සුරංග ලක්මාල් ද යම් යම් ආබාධවලට ලක්ව සිටින අතර මේ සංචාරය සඳහා පිටත්ව යාමට සූදානමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් ද ආබාධයක් නිසාවෙන් ශ්‍රී ලංකා සංචිතය සමඟ දකුණු අප්‍රිකාවට ගියේ නැත.

චන්දිමාල් සමඟින් එක්ව ඉතාමත් හොඳ පදනමක් සකස් කළ ද සිල්වා පිටියෙන් ඉවත් වන විට 4 පහර 11ක් සහ එක් 6 පහරක් එල්ල කරමින් ලකුණු 79ක් ලබාගෙන සිටියේ පන්දු 105ක් සඳහා මුහුණ දෙමිනි.

තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම දියත් කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 340ක් ලබාගෙන ඉතාමත් ස්ථාවර සහ සාර්ථක ලකුණු පුවරුවක් නිර්මාණය කරගත්තේ පන්දුවාර 85ක් සඳහා මුහුණ දෙමිනි. නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින දසුන් ශානක ලකුණු 25*ක් ලබා ගන්න විට අනෙක් අන්තයෙන් ක්‍රීඩා කරන කසුන් රාජිත නොදැවී ලකුණු 7*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටියි.

දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා ටෙස්ට් තරග කාලසටහන 2020/21

  • පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය – 2020 දෙසැම්බර් 26 -30 – Centurion හිදී
  • දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය – 2021 ජනවාරි 3 – 7 – Johannesburg හිදී

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවන දිනය අද (27) පැවැත්වේ. තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<