ජයසිංහ ගෙන ආ ජයග්‍රහණය

371

විවිධ බාධා මැදින් වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් – දිස්ත්‍රික් එක්දින තරගාවලියේ තවත් තරඟයක් අද (23)  කෑගල්ල කණ්ඩායම හා කුරුණෑගල කණ්ඩායම අතර පැවැත්වුණි. එම තරඟයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබාගැනීමට කෑගල්ල කණ්ඩායම සමත් වූ අතර, එහිදී ඇන්ජලෝ ජයසිංහ (53*) තම කණ්ඩායම ජයග්‍රහණය සඳහා මෙහෙයවන ලදි.

ටී. එම්. සම්පත්ගෙන් සුපිරි ශතකයක්

දේශීය ක්‍රිකට් පිටිය උණුසුම් කරවන ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර් දිස්ත්‍රික් එක්දින තරගාවලිය අද (22) ක්‍රීඩාංගන 7කදී ක්‍රියාත්මක විය…

කෑගල්ල කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කර පළමුවෙන් පන්දු යැවීමට තීරණය කරන ලදි.

නව පන්දුවත් සමගින් තම කඩුලු දඩයම ආරම්භ කල කෑගල්ල කණ්ඩායම පන්දුවාර 14ක් තුළ තමන් සතු ප්‍රබල කඩුලු 4ක් දැවී ලකුණු 79ක් ලබාගෙන සිටින ලදි. එහිදී ඉශාන් ජයරත්න හා නිසල් තාරක විසින් මුල්පෙළ පිතිකරුවන් දවා ගන්නා ලදි.

කුරුණෑගල කණ්ඩායම ලකුණු 178ක් දක්වා ගිය ගමන තුළ තම වගකීම හැකි උපරිමයෙන් ඉටුකළ හෂාන් ප්‍රභාත් (21) හා රැවන්ත ඒකනායක 5වන කඩුල්ල සඳහා ලකුණු 26ක සබඳතාවයක් ගොඩනංවන ලදි. එසේම 8වන කඩුල්ල සඳහා ද ගොඩනැංවූ ලකුණු 30ක සබඳතාවය නොවන්නට කුරුණෑගල කණ්ඩායමට මෙවන් ලකුණු මට්ටමකට හෝ පැමිණීම ඉතාමත් අසීරු කාර්යයක් වන්නට ඉඩ තිබුණි.  එහිදී ධනුෂ්ක ධර්මසිරි ලකුණු 34ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වන විට, ඔහුට සහයක් වුනු මලිත් ප්‍රේමතිලක විසින් ලකුණු 28ක් රැස්කරගන්නා ලදි.

 පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය හා අලි කාන් කඩුලු 3 බැගින් දවා ගනිමින් දස්කම් දක්වන ලදි.

කෝල්ට්ස් පිටියේ දෙවනුව පිතිකරණයේ නිරත වුනු කෑගල්ල කණ්ඩායමට මැද පෙලින් පිටියට පැමිණි ඇන්ජලෝ ජයසිංහ නොදැවී ලකුණු 53*ක් එක් කරමින් තම කණ්ඩායම ජයග්‍රහණය සඳහා මෙහෙයවූ අතර, ඔවුන්ගේ කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් යුගල ඉක්මනින්ම ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට කුරුණෑගල පන්දු යවන්නන් පසුබට නොවීය.

ජයසිංහ එක් අන්තයක් රැකගෙන පිතිකරණය තුළ නිරත වන විට, ප්‍රියමාල් පෙරේරා, නිසල තාරක හා හශාන් දුමිදු අගනා ලකුණු 25 බැගින් තම කණ්ඩායම් ලකුණු පුවරුවේ සටහන් කළේ  සවිමත් පිතිකරණයක සෙවනැලි තරමක් දුරකට හෝ සටහන් කරවමිනි. අවසානයේ කෑගල්ල කණ්ඩායම කඩුලු 5කින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය.

එහිදී රැවන්ත ඒකනායක කුරුණෑගල කණ්ඩායම වෙනුවෙන් කඩුලු 2ක් දවාලන ලදි.

කුරුණෑගල – සියල්ලන්ම දැවී ලකුණු 178 (පන්දුවාර 40.4): ධනුෂ්ක ධර්මසිරි 34, මලිත් ප්‍රේමතිලක 28, ගයාන් තාරක 24, හෂාන් ප්‍රභාත් 21, ප්‍රභාත් ජයසූරිය 3/19, අලි කාන් 3/38, ඉෂාන් ජයරත්න 2/31

කෑගල්ල – කඩුලු 5ක් දැවී ලකුණු 179 (පන්දුවාර 37.3): ඇන්ජලෝ ජයසිංහ 53*, ප්‍රියමාල් පෙරේරා 25*, නිසල තාරක 25, හශාන් දුමිදු 25, විශාද් රන්දික 23, රැවන්ත ඒකනායක 2/34

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට