ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන කඩුලු පන්දු සංග්‍රාමයට පෙර

Afghanistan Tour of Sri Lanka 2024

159

දීර්ඝ තරග සංචාරයක් සඳහා මෙරට පැමිණි ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ එක්දින තරගාවලිය හෙට (09) සිට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලියේ සෙසු තරග ද්විත්වය ද මෙම ක්‍රීඩාංගණයේ දී ම පෙබරවාරි මස 11 සහ 14 වැනි දිනවල දී පැවැත් වෙනවා.

දෙරට ක්‍රීඩකයෝ මේ දක්වා තරග 12ක දී එකිනෙකා හමු වී ඇති අතර ඒ අතුරින් තරග 7ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව විසින් ද තරග 4ක ජයග්‍රහණ ඇෆ්ගනිස්තානය විසින් ද සහ නොවිසඳුණ තරගයක් ලෙසින් ද එම ලැයිස්තුව සැකසෙනවා.

ඔවුන් අවසන් වරට හමුව ඇත්තේ නිමා වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 30 වැනි තරගයේ දී වන අතර එම තරගයෙන් ඇෆ්ගනිස්තානය කඩුලු 7ක් ජයග්‍රහණයක් ලබා ගන්නවා.

කෙසේ වෙතත් දෙරට ක්‍රීඩකයෝ ද්විත්ව තරගාවලියක දී අවසන් වරට හමුවු 2023 වසරේ දී තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වෙනවා.

ශ්‍රී ලංකාව මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 912කට ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 417ක් ජයග්‍රහණ කරද්දී  තරග 450ක් පරාජය වී තිබෙනවා. තවත් තරග 5ක් ලකුණු සම වීමෙන් අවසන් ව ඇති අතර ඉතිරි තරග 40 නිමා වී ඇත්තේ විසඳුමකින් තොරවයි.

ඇෆ්ගනිස්තාන මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 161කට ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 77ක් ජයග්‍රහණය කරද්දී තරග 79ක් පරාජය වී තිබෙනවා. ඉතිරි තරග අතර ලකුණු සමවීමෙන් අවසන් වූ තරගයක් නොවිසඳුණ තරග 4ක් ද තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම

කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලියක් සඳහා එක් වෙන්නේ මේ වසර ආරම්භයේ දී සිම්බාබ්වේ සමඟ පැවැති තරගාවලියෙන් අනතුරුවයි. තරග 3කින් යුත් එම තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූවා.

එම තරගාවලියේ දී කෝඩුකාරයන් ලෙස කණ්ඩායමට එක් වූ ජනිත් ලියනගේ සහ ශෙවෝන් ඩැනියෙල් කෙරෙහි තව දුරටත් ක්‍රිකට් තේරීම් කමිටුවේ විශ්වාසය රැදී ඇති අතර හිටපු නායක දසුන් ශානක සහ ජෙෆ්රි වැන්ඩර්සේ කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා.

ඒ වෙනුවට නැවත වරක් චාමික කරුණාරත්නට එක්දින කණ්ඩායමේ දොරටු විවර වී තිබෙනවා. ඔහු අවසන් වරට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම හා එක් ව සිටියේ නිමා වූ වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදීයි.

මේ සියලු දෙනා සමඟ සුපුරුදු ලෙසින් චරිත් අසලංක, පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු සහ සදීර සමරවික්‍රම යන පිතිකරු බලඇණියෙන් ද වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ ඇතුළු පන්දු යවන්නන්ගේ බලඇණියකින් ද කණ්ඩායම සමන්විතයි.

එක්දින තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය මෙසේයි;

කුසල් මෙන්ඩිස් (නායක/ කඩුලු රකින්නා), චරිත් අසලංක (උප නායක), අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, සදීර සමරවික්‍රම, සහන් ආරච්ච්ගේ, ශෙවෝන් ඩැනියෙල්, ජනිත් ලියනගේ, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, අකිල ධනංජය, දුශ්මන්ත චමීර, ඩිල්ශාන් මදුශංක, ප්‍රමෝද් මදුශාන්

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ සූදානම

ඇෆ්ගනිස්තානය මෙම තරගාවලියට එක් වෙන්නේ එරට එක්දින ජාත්‍යන්තර තරගවල ඉදිරියෙන් ම පසුවෙන වැඩිම ලකුණුලාභී පිතිකරුවෝ කිහිප දෙනෙක් ම මෙන් ම කඩුලුලාභී පන්දු යවන්නෝ ද කිහිප දෙනෙක් ම කැටිවයි.

ටෙස්ට් තරගයේ නායකත්වයේ කටයුතු කළ Hashmatullah Shahidi මෙම තරගාවලියේ දී ද ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායකත්වයේ කටයුතු කිරීමට නියමිතයි. 29 හැවිරිදි වියේ පසුවෙන ඔහු මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 73කට ක්‍රීඩා කරමින් අර්ධ ශතක 19ක් සමඟින් ලකුණු 2085ක් ලබා සිටිනවා.

ඔහු මේ දක්වා තරග 32ක දී ඇෆ්ගනිස්තාන කණ්ඩායම මෙහෙයවා ඇති අතර ඉන් තරග 15ක් ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා. පරාජිත තරග 16ක් සහ නොවිසඳුණ තරගයක් ද ඒ අතර වෙනවා.

කණ්ඩායමේ විශ්වසවන්ත පිතිකරුවන් අතර උප නායක Rahmat Shah සුවිශේෂී අසුනක් වෙන් ව තිබෙනවා. ඔහු මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 106කට ක්‍රීඩා කර ඇති අතර ශතක 5ක් සහ අර්ධ ශතක 26ක් සමඟින් ලකුණු 3589ක් ලබා සිටිනවා. ඇෆ්ගනිස්තාන එක්දින තරග ඉතිහාසයේ මෙතෙක් වැඩිම ලකුණුලාභී පිතිකරුවා ද වන්නේ Rahmat Shah.

ඔහු නිමා වූ ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඉනිම 2 දී අර්ධ ශතක වාර්තා කිරීම කැපී පෙණුනා.

ඊට අමතර ව තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Mohammad Nabi ද මේ අතරට එක් වෙනවා. ඔහු මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 156කට සහභාගී වෙමින් ශතකයක් සහ අර්ධ ශතක 16ක් සමඟින් ලකුණු 3208ක් ද සහ කඩුලු 162ක් ද ලබා තිබෙනවා.

අනෙකුත් පිතිකරුවන් අතුරින් Rahmanullah Gurbaz, Gulbadin Naib සහ Ibrahim Zadran ද ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයන් ලෙසින් සැලකෙනවා.

පන්දු යවන්නන්ගෙන් ප්‍රමුඛයා වන්නේ දකුණතින් පිට දඟ පන්දු යවන Mujeeb Ur Rahman. ඔහු මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 75කට ක්‍රීඩා කරමින් කඩුලු 101ක් ලබා තිබෙනවා. ඊට අමතර ව වමතින් මඳ වේග පන්දු යවන්නන් වන Fareed Ahmad සහ Fazalhaq Farooqi ද ඇෆ්ගනිස්තාන බලඇණිය ශක්තිමත් කරනවා.

ශ්‍රී ලංකා ටෙස්ට් තරගය හා නවකයෙක් ලෙස එක් වූ 18 හැවිරිදි වියේ පසුවෙන Naveed Zadra, එක්දින තරගාවලිය සඳහා ද නම් කර තිබෙනවා.

එක්දින තරගාවලිය සඳහා නම් කළ ඇෆ්ගනිස්තානය සංචිතය මෙසේයි;

Hashmatullah Shahidi (නායක), Rahmat Shah (උප නායක), Rahmanullah Gurbaz (කඩුලු රකින්නා), Ikram Alikhil (කඩුලු රකින්නා), Ibrahim Zadran, Riaz Hassan, Azmatullah Omarzai, Mohammad Nabi, Gulbadin Naib, Qais Ahmad, Noor Ahmad, Mujeeb Ur Rahman, Fazal Haq Farooqi, Naveed Zadran සහ Farid Ahmad Malik.

තරගාවලියට සහභාගී වෙන ක්‍රීඩකයන්ට ළඟා විය හැකි සුවිශේෂී කඩඉම්

අවිශ්ක ප්‍රනාන්දු: එක්දින ජාත්‍යන්තර ලකුණු 1000ක් වාර්තා කිරීමට තවත් අවශ්‍ය ව ඇත්තේ ලකුණු 6ක් පමණයි.

මහීෂ් තීක්ෂණ: එක්දින ජාත්‍යන්තර කඩුලු 250ක් වාර්තා කිරීමට තවත් අවශ්‍ය ව ඇත්තේ කඩුලු 2ක් පමණයි.

ජාත්‍යන්තර එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී මෙම කණ්ඩායම් 2 අතුරින් ඉදිරියෙන් පසුවෙන්නේ ශ්‍රී ලංකාව. ඔවුන් එහි 7 වැනි ස්ථානය ලබා ගන්නා විට ඇෆ්ගනිස්තානයට හිමි ව ඇත්තේ 9 වැනි ස්ථානයයි.

එම පසු බැසීමත් සහ නිමා වූ ටෙස්ට් තරගයේ පරාජයත් සමඟින් ඇෆ්ගනිස්තානුවෝ මෙම තරගාවලියේ දී තම ජයග්‍රහණය වෙනුවෙන් හැකී සෑම උපායක් ම අනුගමනය කරනු නියතයි. ඒ වෙනුවෙන් ඔවුන් සතු උපරිම දක්ෂතා සහිත කණ්ඩායම් තරගයෙන් තරගයට යෙදවිය හැකියි.

එබැවින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මෙම තරගාවලිය පුරා ම ඔවුන් විසින් කරලියට ගෙනෙන සෑම උපායක් ම ව්‍යවර්ථ කිරීමේ සූදානම් ව සිටිය යුතු වෙනවා. ඒ සඳහා ශක්තිමත් පිතිකරු සහ පන්දු යැවීමේ බලඇණියක් අප කණ්ඩායම සතුයි.

එවන් බලාපොරොත්තු සහගත මෙම තරගාවලිය පිළිබඳ සේ ම  දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<