සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් පරදවා සාන්ත තෝමස් පළමු ජයට

Dialog පාසල් රග්බි ලීගය 2022

375

පාසල් පිටිය උණුසුම් කරමින් මේ දිනවල පැවැත්වෙන Dialog පාසල් රග්බි ලීගයේ ඊයේ (25) පැවති තරගයෙන් මහනුවර සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් ලකුණු 32-25ක් ලෙස පරාජය කරමින් තරගාවලියේ පළමු ජයග්‍රහණය ලබා ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් ක්‍රීඩකයින් සමත් වුනා.

කොළඹ හැව්ලොක් පිටියේ දී පැවති මෙම තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කරමින් කණ්ඩායමට පළමු ලකුණු එක් කිරීමට සාන්ත තෝමස් ක්‍රීඩක Jaden Kochට හැකි වුනා.

එයට පිළිතුරු වශයෙන් ක්‍රියාත්මක වූ සාන්ත අන්තෝනි කණ්ඩායම වෙනුවෙන් සොමිත දිසානායක පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්තන අවස්ථාව සහන් කිත්සිරි විසින් සාර්ථකව අවසන් කළා.

සාන්ත අන්තෝනි කණ්ඩායමට හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට සහන් කිත්සිරිට හැකි වෙද්දී, සාන්ත තෝමස් කණ්ඩායම වෙනුවෙන් ‍යෙහාන් බුලත්සිංහල දඬුවම් පහරකින් ලකුණු ලබා ගත්තා.

පළමු අර්ධය අවසන් වීමට මිනිත්තු කිහිපයකට පෙර සාන්ත තෝමස් කණ්ඩායම වෙනුවෙන් විවියන් ද සිල්වා උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තන අවස්ථාව සහ තවත් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් සිය කණ්ඩායම එම අර්ධයේ පෙරමුණට ගෙන ඒමට යෙහාන් බුලත්සිංහලට හැකි වුනා.

දෙවැනි අර්ධයේ දී නැවතත් හොඳ සටනක් පෙන්නුම් කළ සාන්ත අන්තෝනි කණ්ඩායම වෙනුවෙන් එම අර්ධයේ පළමු ලකුණු එක් කිරීමට සහන් කිත්සිරිට හැකි වුනේ දඬුවම් පහරක් සාර්ථක කර ගනිමිනුයි.

සාන්ත තෝමස් ක්‍රීඩක ශෙනාල් ප්‍රනාන්දු විසින් එම කණ්ඩායමට තෙවැනි උත්සාහක දිනුම වාර්තා කර දීමට සමත් වෙද්දී යෙහාන් බුලත්සිංහල එහි ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථකව අවසන් කළා.

සාන්ත අන්තෝනි ක්‍රීඩකයෙකු අතින් සිදු වූ වරදකින් ප්‍රයෝජන ගත් සාන්ත තෝමස් ක්‍රීඩක මහිත් පෙරේරා තවත් උත්සාහක දිනුමක් සිය ලකුණු පුවරුවට එක් කළ අතර එම ප්‍රවර්තන අවස්ථාව ද යෙහාන් සාර්ථකව නිමා කළා.

තරගය අවසන් වීමට මිනිත්තු 10ක් පමණක් ඉතිරිව තිබිය දී ක්‍රියාත්මක වූ සාන්ත අන්තෝනි ක්‍රීඩක ජෙයාන් අමරසිංහ උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එයින් කෙටි වේලාවකට පසු සිය ලකුණු පුවරුවට තවත් උත්සාහක දිනුමක් එක් කිරීමට සහන් කිත්සිරිට හැකි වුනා.

එම අවස්ථා දෙකෙන් ලැබූ එක් ප්‍රවර්තනයක් සහන් කිත්සිරි විසින් සාර්ථකව අවසන් කළත් තරගයේ වෙනසක් කිරීමට එය ප්‍රමාණවත් වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: සාන්ත තෝමස් විද්‍යාලය 32 (4T, 3C, 2P) – 25 (3T, 2C, 2P) සාන්ත අන්තෝනි විද්‍යාලය

NDB තරගයේ වීරයා: යෙහාන් බුලත්සිංහල (සාන්ත තෝමස් විද්‍යාලය)

ලකුණු ලබාගත් ක්‍රීඩකයින්,

  • සාන්ත තෝමස් විද්‍යාලය: Jaden Koch 1T, විවියන් ද සිල්වා 1T, මහිත් පෙරේරා 1T, යෙහාන් බුලත්සිංහල 3C, 2P
  • සාන්ත අන්තෝනි විද්‍යාලය: සෝමිත දිසානායක 1T, ජෙයාන් අමරසේකර 1T, සහන් කිත්සිරි 1T, 2C, 2P

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<