මහනුවර සහ කොළඹ දකුණට ජය

අවුරුදු 15න් පහළ ‘ප්‍රීමා කුසලාන’ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

667

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ප්‍රීමා ආයතනය එක්ව සංවිධානය කරනු ලබන 2022 වයස අවුරුදු 15න් පහළ ප්‍රීමා ශ්‍රී ලංකා බාලක ක්‍රිකට් ලීගයේ තවත් තරග දෙකක් අද (22) කොළඹ දී ක්‍රියාත්මක වුනා.

තරගාවලියේ දෙවැනි දිනය වූ අද දිනයේ පැවති තරග දෙකේ දී කොළඹ දකුණ සහ මහනුවර කණ්ඩායම් හමුවේ ගාල්ල සහ දඹුල්ල කණ්ඩායම් පරාජයට පත් වුනා.

දඹුල්ල සහ මහනුවර – වෙළඳසේවා ක්‍රීඩාංගණයේ දී,

කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල සිය පළමු තරගයේ දී ම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

එහි දී ආරම්භක පිතිකරු පබසර දිසානායක ලකුණු 85ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුනු අතර ඔහුගේ ඉනිම 4 පහර 6කින් සහ එක් 6 පහරකින් අලංකාරවත් වුනා.

ඊට අමතරව පමුල ලොකුලියන ලකුණු 16ක් ලබා ගත් අතර අවසානයේ දී ඔවුන් පන්දුවාර 49ක් තුල සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 191ක් පමණයි.

පන්දු යැවීමේ දී කෙනුල පිහිලංග සහ නායක සෙත්මික සෙනෙවිරත්න කඩුලු 3 බැගින් දවාගෙන දස්කම් දැක්වූවා.

පිළිතුරු ඉනිම හඹා ගිය මහනුවර කණ්ඩායම පළමු කඩුලු 3 දැවී යන විට පන්දුවාර 11කුත් පන්දු 4ක් අවසානයේ දී ලකුණු 47ක් ලබාගෙන සිටියා.

ඉන් අනතුරුව ආරම්හක පිතිකරු නිකේෂල නානායක්කාර (4 පහර 6ක් සහ 6 පහරක් සමඟ පන්දු 88කදී ලකුණු 64) සමඟින් එක්වුණු මහනුවර මැදපෙළ සහ පසුපෙළ පිතිකරුවන් වුනු ශෙවාන් කනිෂස් (ලකුණු 48) සහ සෙත්මික සෙනෙවිරත්න මහනුවර කණ්ඩායම ජයග්‍රහණය දක්වා රැගෙන යන්නට වුනා.

අංක 7 පිතිකරු ලෙස ක්‍රීඩා කළ ශෙවාන් පන්දු 32ක් තුල 4 පහර 5ක් සහ 6 පහර 3ක් එල්ල කරමින් නොදැවී ලකුණු 48*ක් ලබාගෙන දඹුල්ල පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් දියත් කරමින් තරගයේ පාලනය සියතේ රඳවා ගත්තා.

අවසානයේ දී පන්දුවාර 44කුත් පන්දුවක් අවසානයේ කඩුලු 8ක් දැවී සිය නියමිත ඉලක්කය හඹා යන්නට මහනුවර කණ්ඩායමට හැකියාව ලැබුණා.

  • දඹුල්ල – 191 (49): පබසර දිසානායක 85, පමුල ලොකුලියන 16, කෙනුල පිහිලංග 3/20, සෙත්මික සෙනෙවිරත්න 3/36.
  • මහනුවර – 195/8 (44.1): නිකේෂල නානායක්කාර 64, ශෙවාන් කනිෂස් 46, සෙත්මික සෙනෙවිරත්න 20, දමේෂ් මතිශාන් 3/31, විග්නේශ්වරන් ආකාශ් 3/52.

මහනුවර කණ්ඩායමට කඩුලු දෙකක ජයක්

කොළඹ දකුණ සහ ගාල්ල – රත්මලාන ජනසතු සේවා ක්‍රීඩාංගණයේ දී,

කාසියේ වාසිය දිනාගෙන පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම මේ තරගයේ දී සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 66ක් පමණයි.

යසිඳු දිසානායක සහ කොශේන්ද්‍ර ප්‍රනාන්දු කඩුලු 3 බැගින් දවාගෙන ගාල්ල ඉනිම සුන් කළා. එහි දී ගාල්ල වෙනුවෙන් විරාන් චමුදිත ලබා ගත් ලකුණු 27 හැරෙන්නට අනෙක් එකඳු හෝ පිතිකරුවෙක් හට සාර්ථක වීමට හැකි වුනේ නැහැ.

කොළඹ දකුණ කණ්ඩායම මේ තරගය ද කඩුලු 7කින් ජය ගනිමින් අපරාජිතව දැනට (තරග 2ම ජයගෙන) ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ දිනා ගන්නට සමත් වුනා.

මේ තරගයේ දී කොළඹ දකුණ වෙනුවෙන් තෙවිඳු වේවැල්ලාවල නොදැවී ලකුණු 18*ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනා. හිරුක සිල්වා ලකුණු 16යි.

ගාල්ල – 66 (20.5): විරාන් චමුදිත 27, යසිඳු දිසානායක 3/09, කොශේන්ද්‍ර ප්‍රනාන්දු 3/14

කොළඹ දකුණ – 70/3 (16): තෙවිඳු වේවැල්ලාවල 18*, හිරුක සිල්වා 16

කොළඹ දකුණ කණ්ඩායමට කඩුලු 7ක ජයක්

තරගාවලියේ තවත් තරග දෙකක් අනිද්දා (24) අපරාජිත කණ්ඩායම් දෙකක් වන කොළඹ දකුණ – කොළඹ උතුර අතර සහ ගාල්ල – දඹුල්ල අතර පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<