ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන A තරගාවලිය හෙට සිට

Afghanistan A Tour of Sri Lanka 2024

108
Afghanistan A Tour of Sri Lanka 2024

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (28) හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහන් ආරච්චිගේ විසින් මෙහයවනු ලබන අතර ඇෆ්ගනිස්තාන කණ්ඩායම Ikram Alikhil විසින් මෙහෙයවීමට නියමිතයි.

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමක් එක්දින ක්‍රිකට් තරගාවලියක් වෙනුවෙන් සහභාගී වෙන්නේ පසුගිය වසරේ දී මෙරට දී පැවැති ACC Men’s Emerging කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුවයි. එම තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම මෙන් ම ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ද සහභාගී වූවා.

එම තරගාවලියේ දී මෙම කණ්ඩායම් ද්විත්වය ම A කාණ්ඩයෙන් තරග පිටියට පිවිසි අතර එහි දී ශ්‍රී ලංකාව එම කාණ්ඩයෙන් පළමු වැනියා වෙමින් අවසන් පූර්ව වටය දක්වා පැමිණි අතර ඇෆ්ගනිස්තානයට එම කාණ්ඩයෙන් හිමි වූයේ තෙවැනි ස්ථානයයි.

කෙසේ වෙතත් එම තරගාවලියෙන් අනතුරු ව ඇෆ්ගනිස්තාන A කණ්ඩායම පසුගිය වසරේ ඔක්තෝබරයේ දී ඕමාන් සංචාරයක යෙදුණ අතර තරග 2කින් යුත් එම තරගාවලිය 2-0ක ජයග්‍රහණයක් වාර්තා කරනවා.

තරග 5කින් යුත් මෙම තරගාවලියේ පළමු තරගය හෙට (28) පැවැත්වීමට නියමිත අතර අනෙකුත් තරග පැවැත්වෙන්නේ අප්‍රේල් 30, මැයි 03, 05 සහ 07 යන දිනවලයි. මෙම තරගාවලියේ සියලු තරග හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර දෙරට අතර පැවැත්වෙන නිල නොලත් සිවු දින ටෙස්ට් ක්‍රිකට් තරගය මැයි මස 11 වැනිදා කොළඹ P. Sara Oval පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමිව ඇත්තේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන සහන් ආරච්චිගේ වෙතයි. ඔහු මේ දක්වා ටෙස්ට් තරග 5කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයෙක් වන අතර List A පිටියේ තරග 84කට ක්‍රීඩා කරමින් ලකුණු 1977ක් සහ කඩුලු 47ක් ලබා ගෙන තිබෙනවා.

ඔහුට අමතර ව ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ සුවිශේෂී ක්‍රීඩකයන් ලෙසින් හැඳින්වෙන නුවනිඳු ප්‍රනාන්දු, ලහිරු උදාර, නිශාන් මධුෂ්ක වැනි පිතිකරුවෝ ද චාමික කරුණාරත්න, චාමික ගුණසේකර සහ වනුජ සහන් වැනි පන්දු යවන්නෝ ද සහ යොවුන් ක්‍රිකට් පිටියෙ දක්ෂතා දක්වන අහන් වික්‍රමසිංහ, පවන් රත්නායක සහ දුශාන් හේමන්ත වැන්නන්ගෙන් ද මෙම කණ්ඩායම සමන්විතයි.

ශ්‍රී ලංකා A ක්‍රිකට් සංචිතය:

 

සහන් ආරච්ච්ගේ (නායක), නුවනිඳු ප්‍රනාන්දු (උප නායක),  ලහිරු උදාර, මිනෝද් භානුක (කඩුලු රකින්නා), නිශාන් මදුෂ්ක, පවන් රත්නායක, අහන් වික්‍රමසිංහ, දුශාන් හේමන්ත, වනුජ සහන්, නිමේෂ් විමුක්ති, චාමික කරුණාරත්න, චාමික ගුණසේකර සහ මොහොමඩ් ශිරාස්.

ඇෆ්ගනිස්තානය

ඇෆ්ගනිස්තාන කණ්ඩායම මෙහෙයවන්නේ 23 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකරු Ikram Alikhil. ඔහු ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 2කට සහ එක්දින ජාත්‍යන්තර තරග 26කට සහභාගී වී ඇති ක්‍රීඩකයෙක් වන අතර List A පිටියේ තරග 54කට ක්‍රීඩා කරමින් ලකුණු 1093ක් ලබා ඇති ක්‍රීඩකයෙක්.

ඔහුට අමතර ව තවත් දක්ෂ පිතිකරුවන් සහ පන්දු යවන්නෝ කිහිපයකගෙන් ම ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමන්විතයි. ඒ අතරට ටෙස්ට් තරග 2කට ක්‍රීඩා කරමින් List A පිටියේ ශතක 5ක් සමඟින් ලකුණු 1362ක් ලබා ඇති Abdul Malik, List A පිටියේ ශතක 5ක් සමඟින් ලකුණු 1812ක් ලබා ඇති Darwish Rasooli මෙන් ම එක්දින ජාත්‍යන්තර තරග 5කට ක්‍රීඩා කර ඇති 21 වැනි වියේ පසුවෙන Riaz Hassan ද මෙම සංචිතයේ පිතිකරු ලැයිස්තුවට ඇතුලත් වෙනවා.

තුන් ඉරියව් ක්‍රීඩකයන් අතුරින් ඉහළින් ම පසු වෙන්නේ 20 හැවිරිදි වියේ පසුවෙන Nangialai Kharoti.

පන්දු යවන්නන් අතුරින් වඩාත් විශ්වාසවන්තයා වී ඇත්තේ පා දඟ පන්දු යවන Qais Ahmad. ඔහු මේ වෙද්දී ටෙස්ට් තරග 2කට, එක්දින ජාත්‍යන්තර තරග 3කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 11කට ක්‍රීඩා කර ඇති අතර List A පිටියේ කඩුලු 148ක් ලබා සිටින ක්‍රීඩකයෙක්.

 එමෙන් ම List A පිටියේ කඩුලු 81ක් ලබා සිටින වමත් දඟ පන්දු යවන 26 හැවිරිදි වියේ පසුවෙන Zia-ur-Rehman සහ List A පිටියේ කඩුලු 59ක් ලබා සිටින දකුණතින් වේග පන්දු යවන 21 හැවිරිදි වියේ පසුවෙන Saleem Safi ද ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා එක් වෙන දක්ෂ පන්දු යවන්නෝ ලෙසින් හැඳින්විය හැකියි.

ඇෆ්ගනිස්තාන A ක්‍රිකට් සංචිතය:  

 

Ikram Alikhil (නායක), Riaz Hassan, Abdul Malik, Zubaid Akbari, Shahid Kamal, Bilal Ahmad, Darwish Rasooli, Mohammad Ishaq, Nangialai Kharoti, Farmanullah Safi, Qais Ahmad, Zia-ur-Rehman, Saleem Safi, Abdul Rahman, Bilal Sami.

මෙම තරගාවලිය පිළිබඳ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<