කොළඹ දකුණ සහ උතුර ජයග්‍රාහීව තරගාවලිය අරඹයි

අවුරුදු 15න් පහළ ‘ප්‍රීමා කුසලාන’ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

335

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ප්‍රීමා ආයතනය එක්ව සංවිධානය කරනු ලබන 2022 වයස අවුරුදු 15න් පහළ ප්‍රීමා ශ්‍රී ලංකා බාලක ක්‍රිකට් ලීගය අද (21) කොළඹ දී ආරම්භ වුනා.

ආරම්භක දිනයේ දී පැවති තරග දෙකේ දී කොළඹ උතුර සහ කොළඹ දකුණ කණ්ඩායම් හමුවේ ගාල්ල සහ මහනුවර කණ්ඩායම් පරාජයට පත් වුනා.

කොළඹ උතුර සහ ගාල්ල – වෙළඳසේවා ක්‍රීඩාංගණයේ දී,

කාසියේ වාසිය දිනා ගත් කොළඹ උතුර පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. එහි දී සදීෂ සිල්වා ලකුණු 46ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුනු අතර ඔහුගේ ඉනිම 4 පහරකින් සහ එක් 6 පහරකින් අලංකාරවත් වුනා.

ඊට අමතරව ඔසඳ පමුදිත ලකුණු 33ක් ලබා ගත් අතර අවසානයේ දී ඔවුන් සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 150ක් පමණයි.

පන්දු යැවීමේ දී කසුන් කාවින්ද කඩුලු 3ක් දවා ගන්නා විට, ප්‍රවීන් මදුශංක කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම හඹා ගිය ගාල්ල කණ්ඩායම පළමු කඩුලු 2 දැවී යන විට පන්දුවාර 12කුත් පන්දුවක් අවසානයේ දී ලකුණු 44ක් ලබාගෙන සිටියා. එහි දී දුල්ශිත් දර්ශන ලකුණු 28ක් ලබා ගත්තා.

නමුත් දිනුජ සමරරත්න සහ ලහිරු ලක්මාගේ ක්‍රියාත්මක වීම නිසා ගාල්ල කණ්ඩායමේ අවසන් කඩුලු 8 ලකුණු 94ක් තුල දවා ගන්නට කොළඹ උතුර කණ්ඩායම සමත් වීම නිසා ලකුණු 12ක තියුණු ජයක් ලබා ගන්නට ඔවුන්ට හැකියාව ලැබුණා.

කොළඹ උතුර – 150 (49.5): සදීෂ සිල්වා 46, ඔසඳ පමුදිත 33, කසුන් කාවින්ද 3/25, ප්‍රවීන් මදුශංක 2/08.

ගාල්ල – 138 (46.3): දුල්ශිත් දර්ශන 28, රිසිනු ගීනුක 23, දිනුජ සමරරත්න 4/15, ලහිරු ලක්මාල් 3/29.

කොළඹ උතුර කණ්ඩායමට ලකුණු 12ක ජයක්

කොළඹ දකුණ සහ මහනුවර – රත්මලාන ජනසතු සේවා ක්‍රීඩාංගණයේ දී,

මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ කොළඹ දකුණ කණ්ඩායමයි. එහි දී අංක 7 පිතිකරණ ස්ථානයෙන් ක්‍රීඩා කළ යසිඳු දිසානායක පන්දු 85ක් තුල ලකුණු 77*ක් ලබා ගත්තා.

එම සුපිරි ඉනිම නිසාවෙන් අවසන් පන්දු 148 තුල ලකුණු 117ක් ලබාගෙන සාර්ථක ලකුණු සටහනක් නිර්මාණය කරගන්නට කොළඹ දකුණ කණ්ඩායමට හැකියාව ලැබුණු අතර යසිඳුගේ එම ඉනිමට 4 පහර 5ක් සහ 6 පහර 4ක් ඇතුළත් වුනා.

ඊට අමතරව සත්සර නිලන්ජිත් ලකුණු 36*ක් ලබාගෙන යසිඳු හට අගනා සහයක් ලබා දුන්නා. හිරුක සිල්වා ලකුණ 35යි. පන්දු යැවීමේ දී කෙනුල පිහිලංග කඩුලු 2ක් දවා ගත්තා.

මහනුවර කණ්ඩායම වෙනුවෙන් නායක සෙත්මික සෙනෙවිරත්න ලබා ගත් ලකුණු 16 හැරෙන්නට අනෙක් එකඳු හෝ පිතිකරුවෙක් හට මේ තරගයේ දී සාර්ථක වීමට හිමරු දේශාන් සහ කොශේන්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු කොළඹ දකුණ පන්දු යවන්නන් අවස්ථාවක් දුන්නේ නැහැ.

ඒ අවසරයෙන් ලකුණු 112ක දැවැන්ත ජයක් ලබා ගනිමින් තරගාවලිය සඳහා සාර්ථක ආරම්භයක් ලබා ගන්නට කොළඹ දකුණ කණ්ඩායමට හැකියාව ලැබුණා.

කොළඹ දකුණ – 206/5 (50): යසිඳු දිසානායක 77*, සත්සර නිලන්ජිත් 36*, හිරුක සිල්වා 35, කෙනුල පිහිලංග 2/32.

මහනුවර – 94 (25.2): සෙත්මික සෙනෙවිරත්න 16, හිමරු දේශාන් 5/35, කොශේන්ද්‍ර ප්‍රනාන්දු 4/17

කොළඹ දකුණ කණ්ඩායමට ලකුණු 112ක ජයක්

තරගාවලියේ තවත් තරග දෙකක් හෙට (22) දඹුල්ල – මහනුවර අතර සහ කොළඹ දකුණ – ගාල්ල අතර පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<