ගැම්මක් ඇතිව කතා කළ හැකි බංග්ලාදේශ සංචාරය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2022

795

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ තරග දෙකකින් යුත් බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය නිමා කරන්නේ 1-0ක් ලෙසින් ජයග්‍රහණය කරමින්. බොහෝ දෙනෙක් ඒ ප්‍රතිඵලය ඊට වඩා වෙනස්ව බලාපොරොත්තු වූවා.

නමුත් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී බංග්ලාදේශ ක්‍රීඩකයෝ පළමු ඉනිමේ දී කළ තරවටු කිරීම් ඉදිරියේ අපේ ක්‍රීඩකයෝ ටිකක් පසු බැස්සා. එහි ප්‍රතිඵලය වූයේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීම. දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී අපේ ක්‍රීඩකයෝ කඩුලු 10ක ජයග්‍රහණයක් වාර්තා කරමින් තරගාවලියේ ජයග්‍රහණය තමන් සතු කර ගන්නේ ගැම්මට සිටිමින්.

මේ නිමාවත් සමඟින් මෙතෙක් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර බංග්ලාදේශයේ දී ටෙස්ට් තරගාවලි 5ක් පවත්වා ඇති අතර එහි අපරාජිත බව රැක ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙනවා.

ඒ අනුව මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුතුව 2006 සහ 2008 වසරවල දී ද, ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් 2014 වසරේ දී ද, දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වය යටතේ 2018 වසරේ දී ද සහ දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේ මෙවර ද ලෙසින් එය ලියැවෙනවා.

මෙවර ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ටෙස්ට් ශූරතාවලියේ එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට හැකි වූවා. මෙතෙක් මේ තරගාවලියේ තරග 6කට පමණක් සහභාගී වී ඇති ශ්‍රී ලංකාව ඉන් තරග 3ක් ජයග්‍රහණ කරමින් ප්‍රසාද ලකුණු සාමාන්‍ය 55.56%ක රඳවා ගනිමින් සිව්වැන තැනට පැමිණියා. ඉදිරියෙන් සිටින්නේ ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ ඉන්දියාවයි.

මේ ලැබූ ජයග්‍රහණය එළඹෙන ඔස්ට්‍රේලියා තරග සංචාර වෙත වඩාත් සාධනීය ව යොදා ගැනීමට හැකි නම් එහි ගැම්ම තවත් වැඩි වනු ඇත.

ඇන්ජලෝ මැතිව්ස්

බංග්ලාදේශ තරග සංචාරයේ දී මේ ජයග්‍රහණයට අමතර ව ගැම්මට කියන්න පුළුවන් තවත් දෙයක් වේ නම් ඒ ඇන්ජලෝ මැතිව්ස් නැවත කතා බහට එක් වූ චරිතයක් වීමයි.

ඔහු මෙම තරගාවලියේ ඉනිම් 3ක දී ලකුණු 344ක් ලබා ගන්නවා. එහි ඉනිමක සාමාන්‍ය 172.0ක්. මේ අතරට පළමු ටෙස්ට් තරගයේ දී ලකුණු 199කට දැවී යෑමත් සහ දෙවැනි ටෙස්ට් තරගයේ දී නොදැවී ලකුණු 145ක් ලබා ගැනීමත් වෙනවා.

ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 199ට දැවී ගිය අවාසනාවන්තයන් අතර 12 තැනට පත් මැතිව්ස් මීට පෙර 2009 වසරේ දී ඉන්දියාව ඉදිරියේ ලකුණු 99ට දැවී ගිය පාඩමක් ද තිබෙනවා.

කෙසේ වෙතත් මෙම තරගාවලිය අවසන් වෙද්දී ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ දී මැතිව්ස් ස්ථාන 5ක් ඉදිරියට පැමිණීමට සමත් වූවා. තරගාවලිය ආරම්භයේ දී 26 සිට ඔහු තරගාවලිය නිමා කරන්නේ 21 වැනි තැනට පැමිණෙමින්.

දිනේෂ් චන්දිමාල්

තරගාවලියේ ගැම්මක් ඇතිව කතා කළ හැකි අනෙක් පිතිකරුවා වන්නේ දිනේෂ් චන්දිමාල්. ඔහු ඉනිම් 3ක දී ශතකයක් සමඟින් ලකුණු 229ක් රැස් කරනවා. එහි සාමාන්‍ය 114.5ක්. චන්දිමාල්ගේ මේ අළු ගසා දැමීම කාලයකට පසු සිදු වූවක්.

බංග්ලාදේශයට එරෙහිව වාර්තා කරන ලද  චන්දිමාල්ගේ ශතකය ඔහුගේ දත්ත තුළ වාර්තා වෙන්නේ සිව් වසරකට පසුව වාර්තාවක් වූවක් ලෙසයි. චන්දිමාල් අවසන් වරට ශතකයක් වාර්තා කරන්නේ 2018 වසරේ ජුනි මස බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව එරට දී. එතැන් සිට ඉනිම් 32ක් ඉක්ම වූ තැනයි මේ ශතකය වාර්තා වන්නේ.

මැතිව්ස් සහ චන්දිමාල්

තරගාවලිය ගැන ගැම්මට කතා කරද්දී මැතිව්ස් සහ චන්දිමාල් විසින් වාර්තා කරන ලද කඩුලු ලකුණු සබඳතාවක් ගැන ද විශේෂ අවධානය යොමු වෙනවා.

ඒ දෙවැනි ටෙස්ට් තරගයේ දී ඔවුන් දෙදෙනා විසින් හය වැනි කඩුල්ලට එක් කළ ලකුණු 199යි. එහි ආසන්නත ම අයිතිකාරයන් වූයේ මහේල ජයවර්ධන සහ මැතිව්ස්. ඔවුන් දෙදෙනා 2014 වසරේ දී එම කඩුල්ලට ලකුණු 179ක් ලබා ගනිමින් වසර 8ක් ම එකී වාර්තාවට හිමි කම් කිව්වා.

අසිත ප්‍රනාන්දු

ශ්‍රී ලංකාවේ වේගපන්දු යවන්නන්ගේ ගැම්ම තීව්‍ර කළ පන්දු යවන්නා වූයේ අසිත ප්‍රනාන්දු. ඔහු මෙම තරගාවලියේ දී කඩුලු 13ක් ලබා ගන්නවා. ඒ අතරින් දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ දී ලකුණු 51කට ලබා ගන්නා කඩුලු 6 බංග්ලාදේශයට එරෙහිව වේගපන්දු යවන්නෙක් දැක්වූ ඉහළ ම දක්ෂතාව බවට පත් වෙනවා.

එමෙන් ම ඔහු පළමු ඉනිමේ දී ලකුණු 93කට ලබා ගත් කඩුලු 4ත් සමඟින් තරගයේ දී ලකුණු 144කට කඩුලු 10ක් දවා ගන්නවා. එය ද වාර්තා පොත් අතරට එකතු වෙන්නේ ශ්‍රී ලංකා වේගපන්දු යවන්නෙක් තරගයක දී පෑ ඉහළ ම දක්ෂතාව ලෙසයි.

මෙම දක්ෂතා ද්විත්වය ම අසිතගේ පෞද්ගලික පන්දු යැවීමේ ගිණුමේ ද ඉහළින් ම ලියැවෙනවා.

කසුන් රාජිත

ශ්‍රී ලංකාව වෙනුවෙන් බලාපොරොත්තු තබා ගත හැකි ක්‍රීඩකයෙක් බවට පත් වීමට කසුන් රාජිත ද මෙම තරගාවලියේ දී පෑ දක්ෂතා හේතු වූවා. ඔහු දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 64කට කඩුලු 5ක් දවා ගත් අතර එය එතෙක් වේගපන්දු යවන්නෙක් බංග්ලාදේශයට පෑ ඉහළ ම දක්ෂතාව බවට පත් වුනා.

නමුත් කසුන්ගේ එම වාර්තාව ඊළඟ ඉනිම දක්වා පමණයි පැවතියේ. අසිත ප්‍රනාන්දු එහි හිමිකාරිත්වය සතු කර ගනිද්දී, කසුන් නිමා වූ ටෙස්ට් තරග දෙකේ දී ලකුණු 164කට කඩුලු 11ක් ලබා ගනිමින් පෑ දක්ෂතා කාලයකට අමතක කළ නොහැකි වනු ඇති.

කෙසේ වෙතත් පළමු ඉනිමේ කසුන් පෑ දක්ෂතාව ඔහුගේ පෞද්ගලික ඉහළ ම දක්ෂාව බවට පත් වුනා.

ශ්‍රේණිගත කිරීම් හී අපේ අය

මෙම තරගාවලිය නිමාවත් සමගින් සිදු වූ තවත් සුවිශේෂී සිදුවීම් වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වැඩි ප්‍රමාණයක් ශ්‍රේණිගත කිරීම් හී ඉහළ ට පැමිණීමයි.

ඒ අතරට දිමුත් කරුණාරත්න ගේ නම ඉහළින් ම ලියැවෙනවා. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් ආයතන පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අතර මෙන් ම ටෙස්ට් ශූරතාවයේ පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අතර ද සැලකිය යුතු ප්‍රගමනයක් පෙන්නුම් කළා.

ඊට අමතර ව ඇන්ජලෝ මැතිව්ස්,  දිනේෂ් චන්දිමාල් ඉහළින් රැඳී සිටින අතර ලසිත් ඇඹුල්දෙණිය, ප්‍රවීන් ජයවික්‍රම, රමේෂ් මෙන්ඩිස් සමඟ කසුන් රාජිත ද වෙනවා.

බංගලියන්ගේ බින්දුකාරයෝ

තරගාවලියේ තවත් සුවිශේෂී වාර්තාවක් සම කිරීමේ ආඩම්බරකාරයන් වීමට ශ්‍රී ලංකාවට හැකි වුනා. ඒ දෙවැනි ටෙස්ට් තරගයේ දී පිතිකරුවන් 9 දෙනෙක් ලකුණු නොලබා දැවී ගිය ලැයිස්තුවට එක් කරමින්. තරගයේ බංග්ලාදේශ පළමු ඉනිමේ දී බින්දු 6ක් ද සහ දෙවැනි ඉනිමේ දී බින්දු 3ක් ද ලෙසිනුයි එය සටහන් වූයේ.

මේ වාර්තාවේ පළමු වැනියන් වන්නේ ශ්‍රී ලංකාවයි. ඒ 1990 වසරේ දී ඉන්දියාවට එරෙහිව අපේ ක්‍රීඩකයෝ 9 දෙනෙක් බින්දු ලබා ගනිමිනුයි. එහි දෙවැන්න 2000 වසරේ දී ඕස්ට්‍රේලියාව ඉදිරියේ බටහිර ඉන්දීය කොදෙව්වන් 9 දෙනෙක් ද ලකුණු නොලබා දැවී යෑම හේතුවෙන් සටහන් වෙනවා. මෙය එවැන්නක් වූ තෙවැනි අවස්ථාවයි.

විනය අහිමිව යෑම

මේ ආඩම්බරකාර දේවල් අස්සේ යොවුන් ක්‍රීඩක කමිල් මිෂාරගේ විනය විරෝධී හැසිරිම හේතුවෙන් තරගාවලිය අතරමග දී ඔහුව මෙරට ට කැඳවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් පියවර බොහෝ දෙනෙක්ගේ කතා බවට ලක් වුනා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<