2021 T20 ලෝක කුසලානයේ සත්කාරක සටනට ශ්‍රී ලංකාවත්

ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2021

482

එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවැත්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමඟ ඉන්දීය ක්‍රිකට් බලධාරීන් (BCCI) මූලික වටයේ සාකච්ඡාවන් කිහිපයක් සිදුකර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ඉන්දියාව තුල තිබෙන COVID-19 ව්‍යාප්තිය නිසාවෙන් තරගාවලිය නිසි කාලවකවානුව තුල පැවැත්වීමට නොහැකි වුවහොතේ, ඒ සඳහා විකල්ප සත්කාරක රටවල් තෝරා ගැනීම වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් බලධාරීන් මේ වන විට ඔවුන්ගේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් ආයතනය මීට පෙර විකල්ප සත්කාරක රට ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍ය (UAE) තෝරාගෙන තිබුණා. නමුත් COVID-19 බලපෑම නිසාවෙන් අතරමග නවතා දැමුණු IPL තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීම සඳහා දැනටමත් තීරණය කර අවසන්. 

තවත් ක්‍රිකට් පුවත්:

IPL තරගාවලිය අවසන් වූ වහාම විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන නිසා එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් තණතීරු ඒ වන විට හොඳ මට්ටමේ තණතීරු ලෙස පවත්වා ගැනීමට අපහසු නිසා (tired wickets) ඉන්දීය ක්‍රිකට් ආයතනය මේ ලෝක කුසලානය පැවැත්වීමට හැකි තවත් විකල්ප රටවල් සෙවීමට කටයුතු කරමින් සිටිනවා.

2021 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක රට පිළිබඳව මේ මස අගදී තීරණයක් ගන්නා බව වාර්තා වන අතර, සත්කාරක රට කුමක් වුවත් ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් මෙවර තරගාවලියේ සත්කාරක අයිතිය දරනු ඇත.

ශ්‍රී ලංකාවට අමතරව ඕමානය ද සත්කාරකත්වය ලබා ගැනීම වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සමඟ සාකච්ඡාවන් කිහිපයක්ම සිදුකර තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<