ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු පවසන ලෝක කුසලාන සැලසුම්

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

1656

ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී  තම කණ්ඩායමට මුහුණ දීමට සිදු වන තත්වයන් පිළිබඳ සැලකිල්ලට ගනිමින් ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කිරීමට පුහුණුවීම් සිදු කරන වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන Chris Silverwood මහතා විසින් ප්‍රකාශ කර සිටිනවා.

ඔක්තෝබර් 16 වැනිදා නැමීබියාවට එරෙහිව තම ප්‍රථම තරගය ක්‍රීඩා කිරීමට සූදානමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඉකුත් දා ඕස්ට්‍රේලියාව බලා පිටත් වූ අතර, ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් පසුගිය මාසයේ අවසන් සතියේ මහනුවර ප්‍රදේශයේ පුහුණු කඳවුරකට ද ඔවුන් සහභාගී වුනා.

ප්‍රමාණයෙන් විශාල ක්‍රීඩාංගණවලට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ගේ හැඩ ගැසීම තරගාවලියට මුහුණ දීමේ දී ප්‍රධානතම සාධකයක් වනු ඇති බව සඳහන් කරන Silverwood තව දුරටත් පවසා සිටියේ,

“පන්දු යැවීමේ දී අපි තවමත් යෝකර් පන්දු යැවීමට පුහුණු වෙමිනුයි සිටින්නේ, එමගින් ඕස්ට්‍රේලියානු තණතිලිවල දී අපි ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින අපගේ සැලසුම් සාර්ථක කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

අපට නැමීබියාව මුණ ගැසීමට පෙර පුහුණු තරග දෙකකට මුහුණ දීමට අවස්ථාව හිමි වෙනවා, ඒ තරගවලට මුහුණ දීමට පෙර අපි, අපි අතරම තරග අවස්ථා නිර්මාණය කර ගනිමින් ඒවාට මුහුණ දෙන ආකාරය පිළිබඳ පුහුණු වෙනවා. එමගින් තරගයේ ඕනෑම ස්වාභාවයක් පාලනය කිරීමේ පුහුණුව අපට ලැබෙනවා.

ඇත්තටම අපි නිශ්චිත අරමුණක් ඇතිවයි මේ පුහුණුවීම් වල යෙදෙන්නේ, උදාහරණයක් විදිහට අපි මහනුවර දී සුපිරි ඕවරයක් ක්‍රීඩා කළා. එය ගොඩක් විනෝදාත්මක අත්දැකීමක්, හැබැයි ඒ වගේම සුපිරි ඕවරයක මොන වගේ අවුල් වියවුල් ඇති වෙන්න පුළුවන් ද කියන දේත් ඉස්මතු වෙලා පෙනුණා.

හැම දෙයක්ම බොහොම ඉක්මනින් වෙනවා, ඒ නිසා අපි තරගයේ දී හොඳ  මානසික ස්ථාවරයක් තබාගෙන සිටිය යුතුයි. ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගණ ප්‍රමාණයෙන් විශාලයි. අපේ කොල්ලන්ට ඒවායේ ක්‍රීඩා කරලා පුරුදු වෙන්න වෙනවා.”

කණ්ඩායමේ තවත් වර්ධනය කර ගත යුතු අංශ පවතින බව ද Silverwood විසින් අවධාරණය කර සිටියා.

පසුගිය ආසියානු කුසලානයේ දීත් අවසන් මහා තරගය හැරුණු කොට ඉතිරි තරග සියල්ලම ජයග්‍රහණය කළේ කාසියේ වාසිය දිනීමෙන් අනතුරුව ලකුණු හඹා යාමට තීරණය කිරීමෙන් බව ද ඔහු විසින් මතක් කළා.

ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයින්ගේ අපේක්ෂා ඉහළ නැංවීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී ඇති බවත්, රසිකයින්ගේ බලාපොරොත්තු බරක් කර නොගෙන එය ධනාත්මක සිතිවිල්ලක් බවට පත් කර ගැනීමට ක්‍රීඩකයින් කටයුතු කළ යුතු බවත් Silverwood විසින් විශේෂයෙන් සඳහන් කළා. එමෙන්ම කණ්ඩායමේ ක්‍රීඩකයින් තුල ඉතා හොඳ මිත්‍රත්වයක් ඇති බව ද ඔහු විසින් සඳහන් කළා.

“තවත් වැඩිදියුණු කර ගත යුතු දේවල් තියෙනවා, කඩුල්ලේ හොඳ ලකුණු ප්‍රමාණයක් එකතු කිරීම සහ එම ලකුණු ආරක්ෂා කිරීම (අපි අවසාන මහා තරගයේ දී මේ දේ හොඳින්ම කළා) පසුගිය කාලයේ අපි හොඳින් නොකරපු දෙයක්.

මේ වගේ දේවල් ගැන අපි හිතන්න ඕන. ඒ වගේම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් රසිකයින් බලාපොරොත්තු රැසක් එක්ක මේ කණ්ඩායම දිහා බලාගෙන ඉන්නේ, ඔවුන්ගෙන් ලැබෙන ඒ ශක්තිය ඉතාමත් වටින දෙයක්, මම හිතන්නේ අපේ කොල්ලොන්ටත් ඒ දේ දැනෙනවා. අපිට ඒ ශක්තිය ධනාත්මක පැත්තකට යොමු කරගන්න පුළුවන් වේවි.

මුළු රටක් ජාතියක් අපි ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා කියන හැඟීම සහ අපි ඒ අයගේ මුහුණුවලට සිනහවක් ගේන්න උත්සහ කරනවා කියන දේ ධනාත්මක දෙයක්. අපි ක්‍රීඩාගාරයේ දී භාවිත කළ සහ ඉදිරියේ දීත් භාවිත කළ හැකි ශක්තියක් ඒ.

මට ඇහෙනවා ගොඩ දෙනෙක් කතා කරද්දී කියන දෙයක් තමයි කණ්ඩායම හරි එකමුතුයි කියන දේ, කණ්ඩායම එක්ක ඉන්න අපිටත් ඒ දේ  ඒ විදිහටම දැනෙනවා.”

Chris Silverwood විසින් එලෙස සිය අදහස් පළ කරද්දී, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක විසින් සඳහන් කළේ, ආසියානු කුසලාන ජයග්‍රහණය අතීතයට අයිති දෙයක් බවත්, දැන් අනාගතය ගැන අවධානය යොමු කළ යුතු බවත් ය.

“ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමට ලැබීම හොඳ දෙයක්, හැබැයි ඒක එක තරගාවලියක් විතරයි. අපි ඒ ගැන තව දුරටත් හිතන්නේ නැහැ, එය අතීතයට අයිති දෙයක්. අපි ඒ ගැනම කතා කර කර හිටියොත් අපිට ඉදිරියේ දී හොඳින් දස්කම් දැක්වීමට නොහැකි වේවි. පුහුණු කඳවුරේ දී (මහනුවර පැවති) හැම ක්‍රීඩකයෙක්ම හොඳින් පුහුණු වුනා.

මම පොඩි බයකිනුයි හිටියේ ආසියානු කුසලාන ජයග්‍රහණයෙන් අනතුරුව අපේ ක්‍රීඩකයින් සැහැල්ලුවෙන් ඉඳීවි කියලා, ඒත් එහෙම වුනේ නැහැ. අපේ කොල්ලෝ වෙනදාටත් වඩා මහන්සි වෙමින් ක්‍රීඩා කලා. මට විශ්වාසයි අපේ කණ්ඩායම ලෝක කුසලානයේ දීත් හොඳින් තරඟ කරන බව.”

ලංකාවේ ප්‍රධානතම වේගපන්දු යවන්නන්  දෙදෙනෙකු වන දුශ්මන්ත චමීර සහ ලහිරු කුමාර පසුගිය කාලයේ ආබාධවලින් පීඩා වින්දා. නමුත් ශානක විසින් තහවුරු කළා ඔවුන් පුහුණුවීම්වල දී තමන්ට නියමිතව තිබූ පන්දුවාර ප්‍රමාණය කිසිම ගැටලුවකින් තොරව හරි ආකාරයෙන් යැවූ බව.

“ලහිරු සහ දුශ්මන්ත දෙන්නාම අපේ කඳවුරේ හිටියා, ඒ වගේම කිසිම ගැටලුවකින් තොරවම එයාලා නියම වෙලා තිබුණු පන්දුවාර ප්‍රමාණය යැවුවා. මම හිතන්නේ ඒ දෙන්නම එළඹෙන ලෝක කුසලානය වෙනුවෙන් හොඳින් සූදානම් වෙලයි ඉන්නෙ.”

විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලුම තතු විත්ති ඔබ හා සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමගින්.

Cricbuzz ඇසුරෙනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<