T20 ලෝක කුසලානය දිනන කණ්ඩායමට ඩොලර් මිලියන 1.6ක්!

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

302
Prize money announced for T20 World Cup 2022

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එළඹෙන ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කරනා කණ්ඩායමට මුදලින් ඇමරිකන් ඩොලර් මිලියන 1.6ක් ලබා දීමට නියමිතයි.

ICC විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ නොවැම්බර් 13 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගය ජයග්‍රහණය කරනා කණ්ඩායම් විස්සයි විස්ස ලෝක ශූරයින් ලෙස අභිෂේක ලබද්දී, ඔවුන් මුදලින් ඇමරිකන් ඩොලර් මිලියන 1.6ක් පිරිනමන බවයි.

එමෙන්ම අනුශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට ශූරතා මුදලින් භාගයක් එනම් ඇමරිකන් ඩොලර් ලක්ෂ 8ක මුදලක් පිරිනැමීමට නියමිතයි.

කණ්ඩායම් 16කගේ සහභාගීත්වයෙන් මාසයකට ආසන්න කාලයක් පුරාවට පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය අවසානයේ දී අවසන් පූර්ව තරග පරාජය වන කණ්ඩායමට ද ඩොලර් ලක්ෂ 4ක් පිරිනමන අතර ඒ අනුව ත්‍යාග මුදල් සඳහා වෙන් කර ඇති සමස්ත මුදල් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 5.6ක්.

සුපිරි 12 වටයෙන් ඉවත් කණ්ඩායම් 8 සඳහා ඇමරිකන් ඩොලර් 70,000ක් ලබා දීමට නියමිත අතර පසුගිය තරගාවලියේ දී මෙන්ම මෙවරත් සුපිරි 12 තරග 30 ජයග්‍රහණය කරනා සෑම කණ්ඩායමකට ඇමරිකන් ඩොලර් 40,000ක් ලබා දෙනු ඇත.

සුපිරි 12 සඳහා සෘජුව සුදුසුකම් ලබා ගත් කණ්ඩායම් 8 වන්නේ ඇෆ්ගනිස්තානය, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය සහ දකුණු අප්‍රිකාවයි.

අනෙක් කණ්ඩායම් 8 – නැමීබියාව, ශ්‍රී ලංකාව, නෙදර්ලන්තය, එක්සත් අරාබි එමීර් කණ්ඩායම් A කාණ්ඩයෙන් ද, බටහිර ඉන්දීය කොදෙව්, ස්කොට්ලන්තය, අයර්ලන්තය සහ සිම්බාබ්වේ කණ්ඩායම් B කාණ්ඩයෙන් සුපිරි 12 ස්ථානයක් සඳහා තරග කරයි.

එම පළමු අදියරේ දී ජයග්‍රහණය කරනා සෑම කණ්ඩායමකට ඇමරිකන් ඩොලර් 40,000ක් ලබා දෙන අතර ඒ අනුව පැවැත්වීමට නියමිත එම වටයේ තරග 12 සඳහා වෙන් කර ඇති මුදල ඇමරිකන් ඩොලර් 480,000ක්.

තෑගි මුදල් හිමි වන ආකාරය

*සියලු මුදල් ඇමරිකන් ඩොලර් වලින් දක්වා ඇත.

2022 ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු තොරතුරු ඔබ හා බෙදා හදා ගැනීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<